May 19, 2024

නාරාහේන්පිට හමුවූ යානයේ අයිතිය යෝෂිතට නෑ (VIDEO)

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක සඟවා තිබූ අබලන් තත්ත්වයේ කුඩා ප්‍රමාණයේ ගුවන් යානය යෝෂිත රාජපක්ෂ මහතාට අයිති නොවන බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද(19) බත්තරමුල්ල, සෙත්සිරිපාය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එම ගුවන් යානය රේ විජේවර්ධන මහතාට අයිති ගුවන් යානයක් බවත් එය 1988 වර්ෂයේ සකසා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

“එම යානය ORRAY යටතේ ලියාපදිංචි කරලා තිබු‍ණේ. එම අංකය යටතේ වාර්ෂිකව ලියාපදිංචි කරන්න ඕන. 1999තෙක් එම ගුවන් යානය වාර්ෂිකව ලියාපදිංචි කරලා තිබුණා. ඊට පසු ලියාපදිංචි කරලා නෑ. එය ජලයෙත් ගොඩබිමත් මෙහෙයවන්න පුළුවන් යානයක්. 1999න් පසු ලියාපදිංචි කර නැති නිසා එම ලියාපදිංචිය අවලංගු වුණා. පසුව ඒෂියන් එවියේෂන් මධ්‍යස්ථානය වෙත එම යානය නවතා තැබීමට කටයුතු කර තිබුණා.“ යැයි ඔහු පැවසීය.

කෙසේ වෙතත් ඒෂියන් එවියේෂන් මධ්‍යස්ථානයේ අධිපතිවරයා එම යානය චන්ද්‍රම්රත්නම් මහතාට තෑගි කර ඇති බවත් 2013 වසරේ දිනක එම යානය යෝෂිත රාජපක්ෂ මහතාට අයත් නාරාහේන්පිට ස්ථානයක රඳවා තබන බවට චන්ද්‍රම්රත්නම් මහතා ලිපියක් මගින් දන්වා තිබූ බවද  එච්.එම්.සී නිමල්සිරි මහතා පෙන්වා දුන්නේය.

නමුත් එම යානයේ අයිතිය තිබින්නේ එම ගුවන් යානය නිර්මාණය කළ රේ විජේවර්ධන මහතාට බවත් ඔහු මියගොස් ඇති බැවින් දැන් එම අයිතිය එම පවුලේ අයට අයත් වන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

පසුගියදා පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව කොළඹ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවකින් කුඩා ගුවන්යානයක් සොයාගෙන තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Monday, 19 January 2015 16:31