May 19, 2024

සියලු ම අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කිරීම අද

සියලු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කිරීම අද(19) සිදු කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් පී.බි. අබේකෝන් මහතා පවසයි.

ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ අවසන් කර ඇති බවත් රාජ්‍ය පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨයින්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් එම සම්මුඛ පරික්ෂණ පැවැත්වනු ලැබූ බවත් ජනාධිපති ලේකම්වරයා පැවසී ය.

ඒ අනුව අද දිනයේ කැබිනට් අමාත්‍යාංශ 27කට සහ රාජ්‍ය අමාත්‍යාංශ 10කට ලේකම්කරුවන් 37 දෙනෙකු පත් කිරීමට නියමිතය.

එක් එක් අමාත්‍යාංශවලට අදාළ විෂය පථයන් හා ආයතන ද අද දිනයේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් මෙහිදී පසුගිය රජයන්හි අමාත්‍යාංශවල ‍ලේකම්වරුන් ලෙස කටයුතු කළ ‍ලේකම්වරු ද ඇතුළත්ව ඇති බවත් මෙහිදී විශේෂයෙන්ම ඔවුන්ගේ හැකියාව සහ පළපුරුද්ද අධ්‍යයනය කොට එම අවස්ථාවන් ලබා දුන් බවත් පී.බි. අබේකෝන් මහතා වැඩිදුරටත් පැවසී ය.

මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය යන අමාත්‍යාංශ දෙකේ ‍ලේකම්වරුන් පත් කර ඇති අතර සෙසු අමාත්‍යාංශවලට මෙසේ ‍ලේකම්වරුන් පත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)