May 19, 2024

'රුපියල් එකොළොස් දහසක් නැත්නම්' පාසැලට ගන්නේ නෑ

නව ආණ්ඩුව බලයට පත්කර ගැනීමේ දී පැවති ආණ්ඩුවේ දුෂණය සහ වංචා පිළිබඳව මහත් ඉහළින් කතාබහට ලක්විය.යහපාලනය පෙරටු කරගත් නව රජය  වැඩ බාරගත්තේ නව බලාපොරොත්තු රැසක් සමාජයට ලබා දෙමිනි.එහෙත් ජනාධිපතිවරයා හෝ රජය නොදැනුවත්වම යහපාලන බලාපොරොත්තු බිඳ දැමීම දකුණු පළාත් සභාව ගාල්ලෙන් ආරම්භ කර තිබේ.
 
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී රුපියල්  11000/- ක මුදලක් අය කර ගැනීමට දකුණු පළාත් සභාවට අයත් ගාල්ල වඳුරඹ මධ්‍ය මහා විදුහල විශේෂ තීරණයකට එළඹ ඇත. ලංකා ගුරු සේවා සංගමය පෙන්වා දෙන පරිදි  පළමු වටයේදී පංති වර්ණාලේප කිරීම සඳහා යැයි පවසමින් රුපියල් 3000/- ක්  අයකර තිබෙන අතර ඒ සඳහා කිසිදු ලදු පතක් හෝ ලබාදී නොමැත.
 
මීට අමතරව  පසුගිය 14වනදා දරුවන් නිල වශයෙන් පාසලට ඇතුළත් කිරීම සලකා බැලීම සඳහා උප්පැන්න සහතිකයද සමග රු 8000/- ක් ද රැගෙන එන ලෙස දෙමව්පියන්ට දන්වා තිබේ.  අදාළ මුදල රැගෙන නොඑන දෙමව්පියන්ගේ දරුවන් පාසලට ඇතුළත් කර නොගන්නා බවද දන්වා තිබීම වඩාත් අවධානය යොමු කලයුතු කරුණකි.මේ නිසා ආර්ථික අපහසුතා තිබෙන දෙමව්පියන් දැඩි අසරණභාවයටත් අසීරුතාවටත් පත්ව සිටින බව  ලංකා ගුරු සේවා සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.
 
දරුවන් පාසලට ඇතුළත් කිරීම වෙනුවෙන් එම දෙමව්පියන් තුළ තිබෙන උනන්දුව හා  ඕනෑකම වැරදි ආකාරයට යොදාගනිමින් ඔවුන්ගෙන් පාසලේ විවිධ නඩත්තු කටයුතු සඳහා අනියම් ආකාරයෙන් මෙලෙස රු. 11000/- ක මුදලක් ලබාගැනීම බරපතළ විශමාචාරයක් මෙන්ම දෙමව්පියන් දැඩි අසරණාභාවයට පත් කිරීමක් බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටී.
 
මේ සඳහා කඩිනමින් මුදල් සොයාගත නොහැකිවූ දෙමාපියන් තම දරුවාව පාසලට ඇතුළත් කිරීමට නොහැකිවීමෙන් දැඩි කලකිරීමට ලක්ව සිටිති.අද දිනයේ මුදල් ගෙවීමට හැකිවූ දෙමාපියන්ගේ දරුවන් පාසල් ගමන අරඹද්දී දුප්පත් දෙමාපියන්ගේ දරුවන් ඒදෙස බලාසිටින්නේ දැඩි වේදනාවකිනි.
 
ඇති හැකි අයගේ දරුවන්ට මෙන්ම නැති බැරි අයගේ දරුවන්ටද නිදහස් අධ්‍යාපනය එක ලෙස ලැබීමේ අයිතිය තහවුරු කර තිබුණද මේ වඳුරඹ දරුවන් ඒ අයිතියට හිමිකරුවන් නොවේද යන්න අපට විමසීමට සිදුව තිබේ.දකුණු පළාත් සභාව 'මෛත්‍රී පාලනයට' යටත්ද නැත්ද යන්න අපට ගැටළුවක් නොවේ.එහෙත් මෙවැනි වැරදි තවදුරටත් සිදුවනවා නම් යහපාලනය පෑල දොරින් පැන යන බව සිහිපත් කිරීමට අපි කැමැත්තෙමු.
 
ගරු අගමැතිතුමනි..ස්වදේශ කටයුතු ඇමතිතුමනි..අධ්‍යාපන ඇමතිතුමනි..මේ,ඔබේ අවදානය පිණිසයි.
 
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
Rate this item
(0 votes)
Last modified on Monday, 19 January 2015 00:22