May 19, 2024

යාල්දේවි කන්කසන්තුරේට ලඟාවෙයි

වසර 26 කට පසුව යාපනය දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානය දක්වා යාල්දේවි දුම්රිය අද (02) සිට ගමන් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

යාපනය දුම්රිය ස්ථානයේ සිට ප‍්‍රධාන දුම්රිය ස්ථාන 3ක්ද උප දුම්රිය ස්ථාන 6 කින් යුක්ත වන මෙම දුම්රිය මාර්ගය යාපනයේ සිට කිලෝ මීටර් 18කින් යුක්ත වෙයි.

අද දින යාපනය දුම්රිය ස්ථානය සිට කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානය දක්වා යාල්දේවි දුම්රිය ගමන් කිරීමේ අවස්ථාවට ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා උතුරු පලාත් ආණ්ඩුකාර ජී.ඒ.චන්‍ද්‍රසිරි මහතා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ඇතුලූ පිරිසක් සහභාගී වී ඇත.

කොළඹ සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා වූ කිලෝමීටර් 409ක දුර ප‍්‍රමාණය යාල්දේවී දුම්රිය ගමන් කරනු ලබන්නේ වසර 26කට පසුව වන අතර එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් කිලිනොච්චියේදී එල්ල කරන ලද බොම්බ ප‍්‍රහාරයන් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ සිට වව්නියාව දක්වා සීමා විය.

මේ අනුව 2009 වසරේ ජුනි 06 වනදා තාණ්ඩික්කුලම් දුම්රිය ස්ථානයටද පසුව 2011 මැයි 27 ඕමන්ත දුම්රිය සථානයන්ටද පසුගිය වසරේ 2013 සැප්තැම්බර් මස 14වනදා ඕමන්ත සිට කිලිනොච්චිය දක්වාද අනතුරුව 2014 මාර්තු මස 04 වනදා කිලිනොච්චි සිට පලෙයි දක්වාද ඔක්තෝම්බර් 13 වනදා පලෙයි සිට යාපනය දක්වාද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් දුම්රිය ගමන් නැවත ආරම්භ කරන ලදි.

කෙසේ වෙතත් අද සිට යාපනය සිට කන්කසන්තුරය දක්වා ආරම්භ කරන යාල් දේවි දුම්රිය හෙට(03) සිට ජනතාව වෙනුවෙන් දුම්රිය ගමනා ගමනය සිදුවන බවටත් මේ අනුව කොළඹ දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරෙයි දක්වා නගරාන්තර සීග‍්‍රගාමී දුම්රිය දෙකක් ගමන් කිරීමට මූලිකව පියවර ගෙන ඇති බවට දුම්රිය දෙපාර්තමේනතු නිලධාරීන් වැඩි දුරටත් පැවසීය. 

වන්නි රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)
Last modified on Friday, 02 January 2015 16:50