May 19, 2024

සබරගමුවේ අළුත් නේවාසිකාගාර දෙකක් නායයාමේ අවධානමක    

සබරගමුව විශ්වවිද්‍යාලය සඳහා අලුතෙන් ඉදිකළ නේවාසිකාගාර දෙක පිහිටා ඇති ප්‍රදේශ නායයෑමේ අවදානමක් ඇතැයි එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

එම නේවාසිකාගාර දෙක සම්බන්ධව ආරක්ෂිත  වාර්තාවක් නිකුත් කරන්නැයි අවස්ථා කිහිපයකදී විශ්වවිද්‍යාල පරිපාලනයට දන්වා තිබුණද, මේ  දක්වා එවැනි වාර්තාවක් නිකුත් නොකිරීම පිළිබඳව සැකයක් ඇතිවන බව එම සංගමයේ සභාපති කථිකාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසී ය.

ආචාර්යවරුන්ට අමතරව මේ සම්බන්ධයෙන් ශිෂ්‍යයන්ද පරිපාලනයෙන් ඉල්ලීම් කර තිබෙන බවත් මේ තත්ත්වය තුළ අවදානමක් ගෙන නේවාසිකාගාරවල රැඳී සිටීමට සිසුන්ට සිදුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ සබරගමුව සරසවියේ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු නුවන් බුද්ධික මහතා සඳහන් කළේ සිසුන් 800 ක් නේවාසිකව රැඳී සිටින වලව 01 හා වලව 02 යන නේවාසිකාගාරවල පිහිටි බෑවුම් සහිත ප්‍රදේශයට ආරක්ෂිත තාප්පයක් ඉදිකරන බව පරිපාලනය ආරම්භයේදී ප්‍රකාශ කළද මේ දක්වා එය ඉදිකර නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනයට දැනුම්දීමක් කළද මේ දක්වා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව විශ්වවිද්‍යාල සිසුහු පවසති.

 

Rate this item
(0 votes)