May 19, 2024

උඩරට දුම්රිය මාර්ගයේ පාඩුව රුපියල් මිලියන 120ක්

December 30, 2014

නාය යෑමෙන් හා පස්කඳු කඩා වැටීමෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු මේවන විට අරඹා ඇති අතර එම දුම්රිය මාර්ගයට සිදුවූ පාඩුව රුපියල් මිලියන 120ක් බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයට පසුගිය දිනවල ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සිට මාතලේ දක්වාත්, පේරාදෙණිය සිට බදුල්ල දක්වාත් පස්කඳු කඩා වැටීමෙන් සහ නාය යෑමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ අලාභය රුපියල් මිලියන 120කට ආසන්න මුදලක් බව දුම්රිය දෙපාර්තමේන්තු දිස්ත‍්‍රික් ඉංජිනේරු ලසන්ත කුමාර මහතා පැවසීය.

මේවනවිට විනාශයට පත්වූ උඩරට දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු ආරම්භ කර ඇති බවත් මින් සිදුවූ විශාලම අලාභය අඹේවෙල දුම්රිය ස්ථානය අසල නායයෑම බවත් ලසන්ත කුමාර මහතා පැවසී ය. 

අඹේවෙල දුම්රියස්ථානයඅසල 137 වෙනි සැතපුම් කණුව ආසන්නයේ දුම්රිය මාර්ග දෙකක් අඩි 100 ක් දිගට අඩි 60 ක් ගැඹුරට නායයෑමෙන් සිදුවූ අලාභය මිලියන 20ක් බව ඉංජිනේරුවරයා සඳහන් කළේය. 

එම නායගිය ස්ථානය දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග නඩත්තු අංශයේ සේවකයින් 40ක පමණ යොදවා සම්පූර්ණයෙන්ම කළු ගල් අතුරා සකස් කිරීමට කටයුතු කර ඇති අතර මේ සඳහා කළු ගල් කියුබ් 1000පමණ වැයවන බව ඇස්තමේන්තු කර තිබේ. 

අඹේවෙල දුම්රිය ස්ථානය නාය යෑමෙන් විනාශ වු දුම්රිය මාර්ග දෙකෙන් එක් මාර්ගයක් පවතින අයහපත් කාළගුණයත් සමඟ දින තුනක් ඇතුලත සකස් කර උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනකටයුතු යථා තත්වයට පත්කිරීමට නියමිතය.

හැටන් - රංජිත් රාජපක්ෂ

 

 

Rate this item
(0 votes)