May 17, 2024

අපරාධය පිළිබඳ බලා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම්

December 21, 2014

මාරවිල පොලීසියේ සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට හලාවත කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නියෝග කර ඇත.

මෙසේ සේවය අත්හිටුවා ඇත්තේ පොලිස් සැරයන් 37650 රණගල සහ පොලිස් කොස්තාපල් 41466 වසන්ත නම් නිලධාරීන් දෙදෙනෙකුගේය. මෙම නිලධාරීන් දෙදෙනාම මාරවිල පොලීසියේ රථවාහන අංශයට අනියුක්තව සේවය කරමින් සිට ඇත.

පසුගිය 17 වැනිදා රාත්‍රීයේ මහවැව ප්‍රදේශයේදී පිහි ඇණුමක් ඇතිවූ ස්ථානයක මෙම නිලධාරීන් දෙදෙනා සිට ඇතත් සැකකරුව අත්අඩංගුවට ගැනීමට ඔවුන් කටයුතු නොකළ බවට චෝදනා එල්ලවී තිබුණි. ඊට විරෝධය පල කරමින් පසුගිය 19 වැනිදා හලාවත - කොළඹ මාර්ගය මහවැව ප්‍රදේශයේදී අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්විණි.

මේ සම්බන්ධයෙන් හලාවත සහකාර පොලිස් අධිකාරී සනත් වික්‍රමසූරිය මහතා විසින් කරන ලද විමර්ශණයකින් පසුව ලබා දී ඇති නිර්දේශයන් අනුව කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් අදාල සේවා අත්හිටුවීම සිදු කර ඇත.

මහවැව දී සිදුවූ පිහි ඇණීමට සම්බන්ධ බව කියන සැකකරු 20 වැනිදා සවස මාරවිල පොලීසියට බාර වී ඇත. මේ අතර පිහි ඇණුම් කෑ බව කියන අය මාරවිල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට දැන් සුව අතට හැරී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

පුත්තලම - ජුඩ් සමන්ත

 

 

Rate this item
(0 votes)