May 18, 2024

මෛත්‍රීගේ කේන්දරය සොයා මෙහෙයුමක්

December 04, 2014

ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන්ම කේන්දරයේ ඇති නිවැරදි තොරතුරු සොයා ගැනීම සඳහා විවිධ පුද්ගලයින්ගෙන් දුරකතන ඇමැතුම් ලැබෙන බව වාර්තා වේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන්ම කේන්දරයේ උපන් වේලාව හා ලග්නය මෙන්ම ජන්ම කේන්දරයේ ඇති නිවැරදි තොරතුරු සොයා ගැනීම සඳහා දැඩි ඉල්ලුමක් පවතින බව ද දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන්ම කේන්දරයේ පවතින තොරතුරු මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව නොමැති වීම හේතුවෙන් ඒවා ලබා ගැනීම සඳහා ඔහුගේ පවුලේ ඥාතීන්, සමීප හිතවතුන්, මිතුරන් හා සිරිසේන මහතා සමීපව සබඳතා පවත්වන භික්ෂූන් වහන්සේලා වෙතින්ද යම් යම් පුද්ගලයන් දිගින් දිගටම විමසීම් සිදු කරමින් සොයා බලන බවද වාර්තාවෙයි.

තමන් ජ්‍යෝතිෂ්‍ය පුවත්පත්වලින් හා ප්‍රකට ජ්‍යෝතීර්වේදීන් බව පවසමින් මෙම විමසීම් සිදුකර ඇති බව එම ආරංචි මාර්ග පවසයි. 

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන්ම කේන්දරයේ තොරතුරු ඇති බවට විශ්වාස කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතාම හිතවත් පොළොන්නරුවේ වැඩ සිටින භික්ෂූන් වහන්සේ නමක් වෙතද පසුගිය දින කීපයේ දී දිගින් දිගටම මෙම ඉල්ලීම ඉදිරිපත් වී ඇති අතර එම භික්ෂූන් වහන්සේ එම පිරිස්වලට තොරතුරු ලබාදීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වෙතත් මෛත්‍රීගේ පවුලේ සාමාජිකයන් මේ දිනවල මෛත්‍රීගේ කේන්දරය පරිස්සම් කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 December 2014 10:01