May 18, 2024

මෛත්‍රී සමග හෙළ උරුමය අත්සන් කළ ගිවිසුමේ ඇත්ත මෙන්න (Video)

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ජාතික හෙළ උරුමය සහය පළ කිරීමට තීරණය කළේ පොදු අපේක්ෂකයා සමඟ ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඔමල්පේ සෝභිත හිමියන් අත්සන් කළ එකඟතාවකින් අනතුරුව බව එම පක්ෂයේ ලේකම් පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඊයේ (02) පිටකොට්ටේ දී පැවති මෙම මාධ්‍ය හමුවට ජාතික හෙළ උරුමයේ නියෝජිතයෝ සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්ව සිටියහ.

දෙපාර්ශවය අතර ඊයේ අත්සන් තබා ඇති දේශපාලන ප්‍රතිසංස්කරණ 10 ක් ඇතුළත් අවබෝධතා ගිවිසුම ද මෙහිදී මාධ්‍යට නිකුත් කළේ ය

පතිරූප දේශයක් උදෙසා වන ජාතික ප්‍රතිඥාවට හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත අනුනාහිමියන් සහ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ප්‍රතිපත්තිමය යෝජනාවලියට අත්සන් තැබීම 01 වැනිදා මධ්‍යහ්න 12.45 ට යෙදුණු සුභ මොහොතින් අත්සන් තැබූ බව ජාතික හෙළ උරුමය සඳහන් කළේය.

සියළුම දේශපාලන පක්ෂ නියෝජනය කරන ජාතික සමඟිය ඇති කරන දේශපාලන ක්‍රමයක් ඇති කිරීම මෙහි අපේකෂාව බවත් එය පක්ෂ ආණ්ඩුවක් නොවන අතර ජාතික වශයෙන් සමඟි සම්පන්න යහපාලනය ක්‍රියාත්මක කරන ජාතික සමඟි සන්ධාන ආණ්ඩුවක් බවද චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූ දින සිට දින සියයක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමයේ අත්තනෝමතික බලතල ඉවත් කිරීමටත් යහපාලනයක් ඇති කිරීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු කිරීමටත් හැකිවන අතර මෙය ඉතා කෙටිකාලීන දේශපාලන න්‍යාය පත්‍රයක් බවද මෙය කාලීනව රටට ඉතා අත්‍යාවශ්‍ය දෙයක් බවත් රටේ ඉදිරි ගමන්මඟ තීරණය කිරීමට එය ප්‍රබල සාධකයක් වන බවද චම්පික රණවක මහතා පෙන්වා දෙයි. 

මින් අනතුරුව ජාතික ප්‍රතිඥාව සවිබල ගන්වමින් එය රටතුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍ය කාලීන හා දිඟුකාලීන වැඩපිළිවෙළක් නිර්මාණය කරන බවද විධායක ජනාධිපති ක්‍රමයේ අනිසි බලතල සංශෝධනය කොට ජනාධිපතිවරයාට රිසි පුද්ගලයින් තානාපති සේවයටල අමාත්‍යාංශ ලේකම් තනතුරුවලට ආදී නොයෙකුත් තනතුරුවලටත් අමාත්‍යාංශ තමා බාරයේ තබා ගැනීමටත් ඇති අනිසි බලතල ඉවත් කිරීමට කටයුතු කිරීමද මෙම ප්‍රතිපත්ති එකඟතාවට අනුව සිදුකෙරේ.

අද මෙරට නීතිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී තිබෙන අතර අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳවද ගැටළු පැන නැඟී තිබේ. එමෙන්ම නීතිය අධිකරණය පිළිබඳව විශ්වසනීයත්වය බිඳ වැටී තිබේ. නීතියේ හා අධිකරණයේ ස්වාධීනත්වය ඇතිකොට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටද මෙම නව ජාතික සමඟි සන්ධාන ආණ්ඩුව මඟින් කටයුතු කරන්නෙමු. මැතිවරණ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාට බලය ලබාදෙන කොමිසමක් පත්කොට දූෂණ හා වංචා මැඩලීමටද මෙමගින් කටයුතු කිරීමට සූදානම්ය.

තිස්වසරක කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීම උදෙසා දිවි හිමියෙන් කටයුතු කළ කිසිවෙක් ජනාධිපතිවරයා වේවා ආරක්ෂක ලේකම්වරයා වේවා යුධ හමුදාපතිවරු වේවා කිසිදු ආරක්ෂක නිලධාරියෙකු වේවා යුධ අධිකරණයට ගෙනයාමට අප ඉඩ තබන්නේ නැත. ඒ වෙනුවෙන් අප ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද චම්පික රණවක මහතා අවධාරණය කරයි. 

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 December 2014 14:07