May 04, 2024

මර්වින් සිල්වාට තර්ජනය කළ එජාප සංවිධායකගේ පුතාට ඇප (VIDEO)

අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට දී තර්ජනය කරන ලදැයි කියන සිද්ධියට අදාළ කැලණිය එජාප සංවිධායක බෙවන් පෙරේරා මහතාගේ පුත්‍රයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (01) නියෝග කළේය.

මෙලෙස ඇපමත මුදාහැරියේ කැලණිය එජප සංවිධායක බෙවන් පෙරේරා මහතාගේ පුත් මංජුල පෙරේරා නමැති අයෙකි.

මෙම සිද්ධියට අදාළව නීතිඥ ගයානි දිල්රුක්ෂි මහත්මිය මෝසමක් ගොනු කරමින් අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබූ අවස්ථාවේ දී අධිකරණය මගින් එලෙස ඇප නියමකර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීම සඳහා නඩුව ලබන පෙබරවාරි 16 වැනි දා තෙක් කල්තැබිණ.

පසුගිය 25 වැනි දා අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට දී මහජන හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අදාළ පුද්ගලයා විසින් බැණ තර්ජනය කළ බවට ඇමැති ආරක්ෂක අංශයේ දන්වත්තගේ සුනිල් ජයරත්න යන නිලධාරියා විසින් කෙසෙල්වත්ත ‍පොලිසියට පැමිණිල්ලක් කර තිබිණ.

එදින අමාත්‍යවරයා ආධාරකරුවන් විශාල පිරිසක් හා ජනමාධ්‍ය කණ්ඩායමක් වටකරගනිමින් ප්‍රශ්න විමසමින් සිටි අවස්ථාවේ ජනමාධ්‍යවේදීන් ඈත්කරමින් පැමිණි මෙම පුද්ගලයා “ඇමැතිතුමා, ඔහොම කරන්න එපා. අපිටත් නඩු තියෙනවා. අපිටත් අසාධාරණයක් වෙන්නේ කියමින් තර්ජනාත්මකව පැවසූ බවට පැමිණිල්‍ලේ සඳහන් වේ.

මෙහි දී සිය ප්‍රකාශය ලබාදෙමින් හේවා කොප්පරාගේ මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් සඳහන් කර ඇත්තේ එම තර්ජනය පිළිබඳ තමන්ට නෑසුණ ද එහෙත් එය තමාගේ ජීවිතයට තර්ජනයක් බවය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 December 2014 12:38