May 08, 2024

මෙරට විශාලතම සතිපොළ ලබන 03 වැනි දා ජනතා අයිතියට 

December 01, 2014

මෙරට මෙතෙක් ඉදිකළ විශාලතම සතිපොළ ලෙස සැලකෙන ඇඹිලිපිටිය සතිපොළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන 03 වැනි දා ජනතා අයිතියට පත්කිරීමට සියළු කටයුතු සූදානම් බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

සබරගමු පළාතේ ප‍්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති ඇඹිලිපිටිය නගරය විධිමත් සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා අධීක්‍ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇත.

ප‍්‍රදේශයේ ගොවි ජනතාවගේ අස්වැන්න රට පුරා බෙදා හරින ප‍්‍රධාන මධ්‍යස්ථානය ද මෙය වන අතර මෙම ජනතා පොළ මේ වන විට ලංකාවේ ඉදිවූ විශාලතම පොළයි. තවද නවීන අංග උපාංගයන්ගෙන් සමන්විතව ඉදිවූ මෙහි ව්‍යාපාරික කටයුතු මෙන්ම බහුකාර්ය වැඩ කටයුතු සඳහා යොදා ගත හැකි ලෙස විශේෂ වේදිකා සහිතව ගොඩනැගිලි 03 මෙහි ඉදිකර ඇත. 

යාබද විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හා පොළ යා කෙරෙමින් විශේෂිත මගී ගුවන් පාලමක් ද ඉදි කර ඇති බවත් පොල සංවර්ධනයට සමගාමීව තවත් ස්ථිර කඩ කාමර 64 ක් ද, ඒ ආසන්නයේම ඉදිකර ඇති අතර පොළ භූමිය අක්කර 03 ක වපසරියක පැතිර ඇති අතර, ඒ තුළ ව්‍යාපාරිකයන් 700 කට පමණ තම ව්‍යාපාර කටයුතු කිරීමට ඉඩ පහසුකම් සලසා ඇති බව එම අධිකාරිය පෙන්වා දෙයි. 

මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 150 ක මුදලක් වැය තිබේ. මේ අතර රථගාල්, සනීපාරක්‍ෂක පහසුකම් හා පොළ භූමිය ආශ‍්‍රිත මාර්ග ද මේ වන විට සංවර්ධනය කර ඇත. අනෙක් සුවිශේෂි කරුණ නම් ප‍්‍රධාන විදුලි බල පද්ධතිය ඇතත් සූර්ය කෝෂ උපයෝගී කර ගනිමින් විදුලිය උත්පාදනය කර ගැනීමට මෙහි කටයුතු යොදා තිබීමයි. 

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඔවුන්ගේ ශ‍්‍රමය හා නිර්මාණශීලී ශක්තිය ද උපයෝගී කර ගනිමින් සියලූ ඉදිකිරීම් සඳහා අවශ්‍ය ශ‍්‍රම දායකත්වය ලබා දී ඇත. නාගරික සංවර්ධන ව්‍යාපෘතියකදී ගුවන් හමුදාවේ ශ‍්‍රම දායකත්වය ලබා දෙනු ලැබු ප‍්‍රථම ව්‍යාපෘතිය මෙය වේ.

 

Rate this item
(0 votes)