May 08, 2024

පොදු අපේක්ෂකයාගේ ගිවිසුමේ ඇත්ත මෙන්න

December 01, 2014

විපක්‍ෂ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා දිනවීම සදහා වූ අවබෝධතා ගිවිසුම අද (01) පෙරවරු 10.00ට පමණ විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී සිදුකිරීමට නියමිතය.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට පෙර කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි බුද්ධ ප්‍රතිමාව අබියසදී ආගමික කටයුතු සිදුකිරීමට නියමිත අතර මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදුවන්නේ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඉදිරියේය.

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු ඒෂියන් මිරර් වෙත සඳහන් කළේ, මෙම ගිවිසුමට ඇතුළත් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 17 වැනි සංශෝධනය බලාත්මක කිරීම, මනාප ක්‍රමය අහෝසි කර නව මැතිවරණ ක්‍රමයක් සැකසීම, දූෂණ වංචා නැති කිරීම, නව ආර්ථික ක්‍රමයක් ඇති කිරීම, නීතිය බිඳ වැටීම නැති කර නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීම, සමාජ ස්ථායිථාව ඇති කිරීම, වාර්ගික ආගමික සහජීවනය ඇති කිරීම, ජීවන බර සැහැල්ලු කිරීම, වී සඳහා සහතික මිලක් ඇති කිරීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් බවයි.

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහතා ජනාධිපතිධූරයට පත්වුවහොත් එම ධූරයේ  වැඩ භාරගත් අවස්ථාවේ සිට දින 100ක් ඇතුළත මෙම ගිවිසුමේ ඇතුළත් කරුණු ඉටු කළ යුතු බවත් මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන 36ක් ඇතුළත් බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය. 

ඒ සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, ගිරාඹේ ආනන්ද හිමි, තීනියාවල පාලිත හිමි, එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අර්ජුන රණතුංග, මනෝ ගනේෂන්, අසාද් සාලි ඇතුළු පොදු විපක්ෂයේ පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වූ පිරිසද සහභාගිවිමට නියමිතය. 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 01 December 2014 10:45