May 03, 2024

මාලක ඇපමත නිදහස් - සමාජ ශාලාවලට යාම තහනම් 

November 28, 2014

බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය යුවළකට පහරදුන් බවට චෝදනා ලැබ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට අද (28) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම් සහබ්දින් මහතා අද ඇප ලබා දුන්නේය.

ඒ අනුව රුපියල් 50,000ක මුදල් ඇපයක් ද, ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් ද නියම කළ මහේස්ත්‍රාත්වරයා මවත්, පියාත් ඇපයට අත්සන් කළ යුතුයැයි ප්‍රකාශ කළේය.

අනෙක් සැකකරුවන් පස් දෙනා අතරින් තිදෙනෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් අතර සිටින ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප නියම කර තිබේ. 

මීට අමතරව මෙම සිද්ධියට අදාළ නඩුව අවසන් වන තුරු සැකකාර මාලක සිල්වාට රාත්‍රී සමාජ ශාලාවලට ඇතුළු වීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා මහජනයා ගැවසෙන ස්ථානවල බියකරු ආකාරයෙන් හැසිරීමෙන් වළකින ලෙස ද දැනුම් දී තිබේ. 

එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කරන බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් ඇප අවලංගු කරන බවට ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

මේ අතර නඩුවට අදාළ හඳුනාගැනීමේ පෙරෙට්ටුව ද අද පෙරවරුවේ පවත්වා ඇති අතර ඊට බ්‍රිතාන්‍ය ජාතික යුවල සහභාගී වී තිබේ. එහිදී හඳුනා ගැනිමේ පෙරෙට්ටුවේදි  ඉංජිනේරුවා මාලක හඳුනා ගත්තද ඔහුගේ පෙම්වතියට ඔහු හඳුනා ගැනීමට නොහැකි වී ඇත.

 

Rate this item
(0 votes)