May 06, 2024

ජනපතිවරණයේදී රාජ්‍ය දේපල අනිසි භාවිතය වලක්වන්න විශේෂ චක්‍රලේඛයක් 

November 28, 2014

රජයට සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපළ ජනාධිපතිවරණ කාලසීමාව තුළ අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ති‍්‍රක් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන් වෙත අදාළ චක‍්‍රලේඛය නිකුත් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

රජය සතු මෝටර් රථ, කාර්යාල, ගොඩනැගිලි මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්පූර්ණයෙන් තහනම් බවද අදාළ චක‍්‍රලේඛය මඟින් දැනුම් දී තිබේ.

ජනාධිපතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය නිලධාරීන් සහ සේවකයින්, බඳවා ගැනීම, උසස් කිරීම, මාරු කිරීම හා සීමා කිරීම සිදු නොකළ යුතු බව එම චක‍්‍රලේඛය මගින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

දේශපාලන අයිතිවාසිකම් රහිත සියලු ම රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනමය කටයුතුවල නියැළීමට අවසර නොමැති බවද මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කර තිබේ.

මේ වන විට ජනාපධිතිවරණයට අදාළව දේශපාලන පක්ෂ 3ක් ඇප තැන්පත් කර ඇත.

අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා සඳහන් කළේ 26 වැනි දා සමාජවාදී සමානතා පක්ෂය, ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය සහ ජනසෙත පෙරමුණ ඇප තැන්පත් කළ බවයි.

ජනාපධිතිවරණයට අදාළ ව ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදෙන කාලය පසුගිය සඳුදා අරම්භ වු අතර දෙසැම්බර් 05 දක්වා කාලසීමාව තුළ ඇප තැන්පත් කිරීම සිදුකළ හැකි බවද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.

පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයෙකු රුපියල් 50,000ක් සහ ස්වාධීන අපේක්ෂකයෙකු රුපියල් 75,000ක මුදලක් ඇප වශයෙන් තැන්පත් කළ යුතුය.

ජනාධිපතිවරණයේ නාම යෝජනා කැඳවීම දෙසැම්බර් මස 08 වැනිදා පෙරවරු 9.00 සිය 11.00 දක්වා පැය දෙකක කාලයක් රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිදු කෙරෙනු ඇත. 

ජනාධිපතිවරණයට අදාළ ව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමද මේ වන විට ආරම්භ කර තිබේ. 

ලබන දෙසැම්බර් 4 වැනිදා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අවසන් කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය. 

මෙවර ඡන්ද විමසීම 2014 ඡන්ද නාම ලේඛනයට අනුව කෙරෙන අතර ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස්ලක්ෂ හතළිස්හතරදාස් අනුවකි. 

ඒ අනුව ජනාපධිතිවරණ ඡන්ද විමසීම ජනවාරි 08 වැනිදා පැවැත්වේ.

Rate this item
(0 votes)