May 08, 2024

දිස්ත්‍රික් හතකට නාය යෑමේ අවදානමක්    

November 01, 2014

දැනට පවතින අයහපත් කාලගුණය ඉදිරියටත් පවතින ලකුණු ඇති හෙයින් නාය යෑමේ, ගල් පෙරළීමේ හා කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ ව විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය අනතුරු අඟවයි.

අද (01) පස්වරු 6.00 දක්වා බල පවත්වන පරිදි නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයෙහි මේ බව දැක්වේ.

එහි සඳහන් වන පරිදි නායයෑමේ අවදානම පැවතිය හැකි ප්‍රදේශ පහත සඳහන් පරිදි වේ.

පහත දැක්වෙන ප්‍රදේශයන්හි කඳුකර බෑවුම් කණ්ඩි සහිත ප්‍රදේශ හා මාර්ග සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව එම නිවේදනයේ දැක් වේ.

නුවරඑළිය, කළුතර, බදුල්ල, රත්නපුර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ - කෑගල්ල දිස්ත්‍රික්කයේ විශේෂයෙන් මාවනැල්ල, අරනායක, දැරණියගල, යටියන්තොට, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, ගලිගමුව ඇතුළු සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ දෙහිඕවිට - දැරණියගල, අරනායක - අම්බලකන්ද, හෙම්මාතගම - ගම්පොළ, ගලිගමුව - අවිස්සාවේල්ල සහ කෑගල්ල පිටත වට රවුම් මාර්ග.

රත්නපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ඇහැළියගොඩ (විශේෂයෙන් උඩතලවිටිය), බලංගොඩ සහ ඉඹුල්පේ (විශේෂයෙන් ඈගොඩ වලේබොඩ, මීගොඩ වලේබොඩ සහ රාවණා කන්ද ප්‍රදේශ) කලවාන (විශේෂයෙන් හපුගොඩ), ගොඩකවෙල (බිබිලේගම) ඇතුළු සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස. රත්නපුර - වේවැල්වත්ත සහ මාදම්පේ - රක්වාන - සූරියකන්ද මාර්ග. 

මාතලේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් රත්තොට, උකුවෙල, මාතලේ, අඹන්ගඟ යටවත්ත, පල්ලේපොළ, නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.

මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස. විශේෂයෙන් නුවර - මහියංගනය, නුවර - නුවර එළිය, නුවර - කුරුණෑගල මාර්ග.

බදුල්ල දිස්ත්‍රික්කයේ විශේෂයෙන් බදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල, පස්සර, ඌව පරණගම, හපුතලේ සහ හාලි ඇළ ඇතුළු සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස. ඇල්ල -වැල්ලවාය මාර්ගය, හපුතලේ - බෙරගල මාර්ගය, බෙරගල - වැල්ලවාය මාර්ගය, බදුල්ල - ස්ප්‍රිං වැලි මාර්ගය, පස්සර - ලුණුගල මාර්ගය, ඇටම්පිටිය - වැලිමඩ මාර්ගය, බදුල්ල - මහියංගනය මාර්ගයේ 21 වැනි කි.මී. හන්දිය දක්වා සහ හැලිඇළ - වැලිමඩ මාර්ගය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස. නුවර - වලපනේ - රාගල මාර්ගය. නුවරඑළිය - හැටන් මාර්ගය, නුවර - රන්දෙනිගල - බදුල්ල මාර්ගය.

මෙම ප්‍රදේශයන්හි නාය යෑමේ, ගල් පෙරළීමේ හා කණ්ඩි කඩා වැටීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යේෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය එච්.ඒ.ජී. ජයතිස්ස මහතා පවසයි.

Rate this item
(0 votes)