May 06, 2024

කොස්ලන්දේ දරුවන් ගැන සොයන්න විශේෂ සහන කණ්ඩායමක් 

හල්දුම්මුල්ල, මීරියබැද්ද වතුයායේ සිදු වූ නායයාමෙන් විපතට පත් දරුවන්, කාන්තාවන් ඇතුළු ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය කඩිනම් පියවර ගෙන තිබේ. 

නායයාමෙන් විපතට පත්ව දැනට හල්දුම්මුල්ල, කොස්ලන්ද සහ පූනාගල පාසල්වල රැඳී සිටින ජනතාවට අවශ්‍ය වෛද්‍ය පහසුකම්, ඖෂධ, ඇඳුම් මෙන්ම ළඳරු කිරිපිටි, බිස්කට් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය රැගත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ විශේෂ සහන කණ්ඩායමක් මේ වන විටත් අදාළ ප්‍රදේශයට යවා ඇති බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසීය.

ඒ අනුව හල්දුම්මුල්ල, බදුල්ල, හපුතලේ, බණ්ඩාරවෙල සහ වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සියලුම ක්ෂේත්‍ර නිලධාරීන් මේ වන විටත් අදාළ සහන කණඩායම් සමඟ විපතට පත් ජනතාවගේ අවශ්‍යතා සොයා බලා ඉටු කරදීමට යොමුකර ඇති බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

ළමා රෝග වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ද මේ වන විට අදාළ ප්‍රදේශ වෙත යවා ඇති අතර විපතට පත් ජනතාවගේ අවශ්‍යතා ක්ෂේත්‍ර නිලධාරීන් මඟින් හඳුනා ගැනීමෙන් අනතුරුව අනෙකුත් පහසුකම් වන උපදේශනය, විශේෂයෙන් මෙම අනතුරින් මව්පියන් අහිමි දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවය ලබාදීමට අමාත්‍යවරයා අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.

 

Rate this item
(0 votes)