May 17, 2024

පී.සී.ආර් කට්ටල වලින් ගසා කාලා - රජයේ පාඩුව කෝටි 12යි

November 08, 2021

ආණ්ඩුවේ සිදුවූ තවත් වංචාවක් මේවන විට හෙළිදරව් වී තිබෙනවා.

ඒ වෙළඳපල සාමාන්‍ය මිල ගණන් නොසලකා හැර, ඉහළ මිලක් ඉදිරිපත් කළ ලංසුකරුවකුගෙන් පී.සී.ආර් කට්ටල මිලදී ගැනීමේ සිද්ධියක්.

මේනිසා රජයට රුපියල් කෝටි 12කට අධික පාඩුවක් සිදුව ඇතැයි 2020 විගණකාධිපති වාර්තාවේ සඳහන් වනවා.

2020 වසරේ අවස්ථා තුනකදී පී.සී.ආර් කට්ටල 328ක් මෙලෙස ඉහළ මිල ගණන් යටතේ මිලදීගෙන ඇතැයි ද එහි දැක්වෙනවා.

මෙම විගණන වාර්තාව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගිය සතියේ භාර දී තිබෙනවා.

එම මිලදී ගැනීම් කර ඇති කාලයේදී පී.සී.ආර් කට්ටලයක සාමාන්‍ය මිල රුපියල් 1,850ක් වුවත්, එම කට්ටල මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශය වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රුපියල් කෝටි 76කට වැඩි මුදලක් (රුපියල් මිලියන 762.96ක්) වැය කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වනවා.

අවම මිල සහිත ලංසු යටතේ ලබාදීමට නියමිත පී.සී.ආර් කට්ටල පවතින පී.සී.ආර් යන්ත්‍ර සමඟ නොගැළපීම නිසා ඒවා ප්‍රතික්‍ෂේප කර ඇතැයි සඳහන්.

මේ අතර තාක්‍ෂණික ඇගයීම් කමිටුව ඇතැම් සමාගම්වලට වාසිදායක අයුරින් කටයුතු කර ඇත්තේ පැවති හදිසි තත්වය හා වෛද්‍ය පර්යේෂණ ආයතනය භාවිතා කරන යන්ත්‍ර වර්ගය හා අතීත අත්දැකීම් සළකා බවත් පැවසෙනවා.

ලංසු කැඳවීමට පෙර නිවැරදි ලෙස එම කට්ටලවල විශේෂතා ද භාවිතාවන යන්ත්‍රවලට අනුරූප වන අයුරින් සූදානම් කර තිබී නැති බව වාර්තාවේ දැක්වෙනවා.

තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත අමාත්‍යාංශයේ විශේෂ ප්‍රසම්පාදන කමිටුව ඉහළ ලංසුකරුවකුගෙන් මිලදී ගැනීම් කිරීමට නිර්දේශ කර ඇත්තේ රුපියල් කෝටි 12.5ක පාඩුවක් විඳිමින් බව ද එහි සඳහන් වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 11:18