May 17, 2024

කැලඹුණු කාලගුණය : තවත් දිස්ත්‍රික්ක දෙකකට නාය යාමේ අනතුරු ඇගවීම්

November 07, 2021

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට පනවා ඇති නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඊයේ (06) රාත්‍රී 10.00 සිට අද (07) රාත්‍රී 10.00 දක්වා මෙම නායයෑම් අවදානම් නිවේදනය බලපැවැත්වෙන බව ජාතිත ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.

බදුල්ල, මාතලේ, කෑගල්ල, මහනුවර, කුරුණෑගල ගාල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදන එළෙස තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

දිවයින ආශ්‍රිතව වර්ධනය වී ඇති සුළං අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් අද, හෙට සහ අනිද්දා දිනවලදී වැසි සමග සුළගේ වේගය ද වැඩිවීමක්ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දැදුරු ඔය, රාජාංගනය, වෙහෙරගල, මහවිලච්චිය, යෝධ වැව, නාලන්දා සහ තබ්බෝව යන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර තිබෙනවා.

කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් අද විවෘත කළ අතර නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීම ආරම්භ කර ඇති බව නුවරඑළිය ආපදා කළමණාකරණ ඒකකය පවසනවා.

පවතින වර්ෂාපතනය නිසා කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවත්, ජල මට්ටම ඉහළ යාමත් සමඟ කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදුකරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් සඳහන් කරනවා.

එමෙන්ම ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද විවෘත කර තිබෙනවා.

වව්නියාවේ කුඩා වැව් රැසක් වාන් දැමීමත් සමඟ කුඹුරු රැසක් විනාශ වී තිබෙනවා.

මේ අතර බණ්ඩාරවෙල , වැවතැන්න සිට අඹේගොඩ දක්වා වන මාර්ගයට ගසක් කඩාවැටීමෙන් විදුලි කණු කිහිපයකට සහ දුරකථන රැහැන්වලට හානි සිදුවී තිබුණා. ඒ හේතුවෙන් එම මාර්ගය පැය කිහිපයකට වසා දැමීමට සිදු වුණා.

ඊයේ ඇඳහැලුනු අධික වර්ෂාවත් සමඟ අකුරණ නගරය ජලයෙන් යට වී තිබෙනවා.

මේ අතර පස්සර පැල්ගහතැන්න ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩාවැටීමෙන් එම නිවසට බරපතළ හානි සිදුවී තිබෙනවා.

පවතින අධික වර්ෂාවත් සමඟ ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හටන්ගල දොරළුගොඩ යායේ වගා කරන ලද කුඹුරු අක්කර 50කට අධික ප්‍රමාණයක් ගංවතුරට හසුවී තිබෙනවා.

Rate this item
(0 votes)