May 17, 2024

ආණ්ඩුවෙන් වෙන් වී සටන අරඹන්න - පොහොට්ටු මන්ත්‍රී විමල් පිළට කියයි

November 07, 2021

රටේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනපති, අගමැති හා කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කොට විසදුම් ලබා ගන්නවා වෙනුවට කැබිනට් මණ්ඩලයේම ඇතැමුන් වීදි සටන්කරුවන් විලාසයෙන් කටයුතු කිරීම පිළිගත නොහැකි බව පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා. 

ඒ උඩුනුවර, දවුලගල ප්‍රදේශයේ ඊයේ (06) පැවති මාර්ග සංවර්ධන වැඩසටහනකට සහභාගි වෙමිනි.            

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මහාචාර්ය රංජිත් බණ්ඩාර මෙසේද සඳහන් කළා.

"කැබිනට් මණ්ඩලයේ හැසිරීම පිළිබඳව කතා කිරීමේ හැකියාවක් පසුපෙල මන්ත්‍රීවරුන්ට නෑ. නමුත් කැබිනට් මණ්ඩලය තුළ කතා කල යුතු දේ කැබිනට් එක ඇතුලේම කතා කළ යුතුයි. අපේ කැබිනට් මණ්ඩලයේම ඇතැම් අය පාරට බැහැලා කතා කරන්නේ කවුරු වෙනුවෙන්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. එතුමන්ලා පාරට බැහැලා කතා කරන්නේ කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම පිළිබඳව කිසිදු හෝ තැකීමක් නොමැතිවයි. කැබිනට් මණ්ඩලය තුළදී ඇමතිවරයෙකුට ඕනෑම දෙයක් කතා කරන්න නිදහස තියෙනවා. එහෙම තිබියදී මහපාරට මේ ප්‍රශ්න ගෙනල්ලා එතුමන්ලා වෙන දෙයක් කරන්න උත්සාහ කරන බව නම් අපට පැහැදිලියි. මේ රජය දූෂිත නම් දූෂිත රජයක එතුමන්ලා ඇමතිකම් දරන්නේ  ඇයි කියන ප්‍රශ්නය තියෙනවා. ඒ අයට අයින් වෙලා යන්න පුළුවන්. අපි කාටත් අයින් වෙලා යන්න තියෙනවා නෙවෙයි .ඒත් රජය විවේචනය කරන්න ඕනේ නම් මේ ආණ්ඩුවේ ඉන්න බැරිනම් වෙන් වෙලා ගිහින් ඒ සටන වෙනමම ආරම්භ කරන එක තමයි වෙන්න ඕනි . එහෙම නැතුව ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන ආණ්ඩුව කරන ඒවා ඔක්කොම නරකයි අපි කරන ඒවා ඔක්කොම හොඳයි කියන එක සාධාරණ නෑ. කැබිනට් මණ්ඩලය තුළ සාමූහික වගකීමක් තිබිය යුතුයි ඒ සාමූහික වගකීම එතුමන්ලාටත් තිබෙනවා. ඒ වගකීම එතුමන්ලාත් භාර ගත යුත්තේ කැබිනට් එක ඇතුලේ කතා කරන ඒවා කැබිනට් එක ඇතුලෙම කතා කරලා විසඳාගත යුතු නිසායි. කැබිනට් එකක් තියෙන්නේ ඒකට තමයි. එහෙම නැතුව මහ පාරේ මේවා කතා කරාට පාරේ මිනිසුන්ට මේවට උත්තර දීමේ හැකියාවක් නෑ මේක ලෝක වසංගතයක් තියෙන වෙලාවක් ටේ සාමාන්ය තත්වයක් තියෙන වෙලාවක් නෙවෙයි ඒත් මොන තරම් ගැටලු තිබුණත් අපේ රටේ කිසිම කෙනෙක් බඩගින්නෙ මැරිල නෑ. ගැටළු තියනවා තමයි. ගෑස්, පොහොර, සිමෙන්ති, සීනි ප්‍රශ්න වලට වඩා වෙනත් ආකාරයේ බරපතළ ගැටලුවකට අද ආණ්ඩුව මුහුණ දීලා තියෙන්නේ. අද ලෝකයේ ප්‍රධානතම රටවල් හා සමානව කොරෝනා වසංගතය මර්ධනය කරන්න රජය කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා දැවැන්ත වියදමක් දැරීමට සිදු වෙලා තියෙනවා. සෑම දෙයක්ම දේශපාලන කෝණයෙන් බලන් නැතුව විමසිලිමත්ව බැලිය යුතුයි."

"මේ රටේ ආර්ථිකයත් අද ලෝක ආර්ථිකය හා බද්ධ වෙලා තියෙන්නෙ. මේ ගෝලීය වසංගතය සමගින්. ඒ නිසා මෙවර අයවැයේදී දෙනු වෙනුවට ගන්න තමයි වෙලා තියෙන්නෙ. අපේ රටේ මුදල් ඇමති තුමා කියන්නේ ජනතාවාදී නායකයෙක්. එනිසා එතුමා ජනතාවට වද වේදනා නොමැති අයවැයක් ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුවට වෙළඳපොළට මැදිහත් වෙලා මිල පාලනය කරන්න බැරි යුගයක තමයි අපි දැන් ඉන්නේ. ඒ නිසයි ගැසට් පත්‍රයක් ගැහුවත් ඒ ගැසට් පත්‍රයට අනුව මිලට ගන්න හෝ විකුණන්න බැරි පරිසරයක් ගොඩ නැගිලා තියෙන්නේ ඒ නිසා මිල පාලනය ඉවත් කිරීම හා භාණ්ඩ මිල ඉහළ යාම අතර සෘජු සම්බන්ධතාවයක් අපි දකින්නේ නෑ. අද සැපයුම් ජාල අවහිර වෙලා. ලෝක වෙළඳපොලේ සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල අවම වශයෙන් සියයට හතලිහක් පමණ ඉහළ ගිහිල්ලා. මේ නිසා කෘතිමව මිල පාලනය කරන්න අද කිසිම රජයකට බෑ. අද මේ රටේ ගෑස්  ව්‍යාපාරයට බරපතළ මාෆියාවකට යට වෙලා තියෙනවා කියලා ඒ ව්‍යපරිකයෝම කියනවා නම් ඊට පිළියම් යෙදීමත් සිදු කරන්න පුළුවන් එයාලටම පමණයි. යුගදනව් බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට අලෙවි කරනුයේ පවතින මිලට වඩා ඉතාමත් අඩු මිලකට ජනතාවට විදුලිය සපයන්නයි. නමුත් අද මේ හැම දෙයක්ම දේශපාලනීකරණය වෙලා. හැම දෙයක්ම දිහා බලන්නේ දේශපාලන කෝණයෙන්. සියලු දෙනා එකතුවෙලා මේ රට ගොඩ නැගීමයි දැන් සිදුවිය යුත්තේ." යනුවෙන් ද ඒ මහතා සඳහන් කළා.

Rate this item
(0 votes)