May 19, 2024

සන්ධාන මන්ත්‍රී ඇතුළු කල්ලියක් මංකොල්ලයකට ගිහින් කොටු

දේපළ මංකොල්ලකෑමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් සැකපිට පොළොන්නරුව තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ එජනිස මන්ත්‍රීවරයකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනකු පොළොන්නරුව පොලිසිය මගින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් පොළොන්නරුව, කුරුප්පු හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක්‌ පෙරේදා රාත්‍රි 10 ට පමණ වී අලෙවි මණ්‌ඩලයේ තමන් පදිංචි නිල නිවාසය වෙත කඩා වැදී බැණ තර්ජනය කොට නිල නිවාසය තුළ තිබූ මුදල් රුපියල් ලක්‍ෂ පහක්‌, රන් අභරණ ඇතුළු රුපියල් ලක්‍ෂ අටක පමණ වටිනා දේපළ පැහැර ගෙන ගිය බවට එම නිල නිවාසයේ පදිංචිකරු විසින් පොළොන්නරුව පොලිසියට පැමිණිලි කොට තිබේ.

මේ සම්බන්ධයෙන් සැකකාර මන්ත්‍රීවරයා ඇතුළු සිව් දෙනකු ඊයේ සැකපිට අත්අඩංගුවට ගත් බවත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ සිදුකෙරෙන බවත් විමර්ශන කටයුතු සිදුකරන පොලිසීය පවසයි.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලක්‌සිරි විඡේසේන මහතාගේ උපදෙස්‌ පරිදි පොළොන්නරුව මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඒ. එස්‌. එම්. ජරූල් මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Rate this item
(0 votes)