May 19, 2024

විපක්ෂය නොදැකපු 'අයවැයේ නැති' කාරණය ගැන ඇමති ඩිව් හෙළි කරයි

මෙවර අය-වැය එක් කාරණයකට අපි අසමත් වී තිබෙන බවත් විපක්ෂය ඒ ගැන කතා නොකරන නිසා තමා කතා කරන බවත් ඒ මෙම අයවැයෙන් රජයේ ආදායම වැඩි වී නොමැති බවත් මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ඊයේ (28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විසර්ජන පනත් කෙටුම්පත 2015 දෙවැනි වර කියැවීමේ තෙවැනි දින විවාදයට එක්වෙමිනි.

මෙවර අය-වැය සමාජයේ සෑම ක්ෂේත්‍රයක් ම ආවරණය වන ආකාරයට සකස් කර තිබෙන බවත් පළමු වතාවට ජාතික වශයෙන් මානව සම්පත වර්ධනයට ඉහළ ම ප්‍රමුඛතාවක් ඉන් ලබා දී තිබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

“මෙවර අය-වැය පරිපූර්ණ අය-වැයක්. සමාජයේ සෑම ක්ෂේත්‍රයක් ම ආවරණය වන ආකාරයට අය-වැය සකස් කර තිබෙනවා. පළමු වතාවට ජාතික වශයෙන් මානව සම්පත වර්ධනයට ඉහළ ම ප්‍රමුඛතාවක් ලබා දී තිබෙනවා. නිදහසින් පසු  ආවරණය නො වූ ආර්ථික ක්ෂේත්‍රයත් මෙවර අය-වැයට ඇතුළත් වී තිබෙනවා. අවිධිමත් ආර්ථික කොටසට රජයේ අවධානය යොමු නො වී මෙතෙක් කාලයක් සමාජයෙනුත් හැළී තිබුණා. විපක්ෂයෙන් ප්‍රතිපත්තිමය විවේචනයක් මා බලාපොරොත්තු වුණා. කනගාටුයි එවැනි දෙයකට සවන්දීමට අපිට හැකි වුණේ නැහැ“ යැයි ද ඔහු පැවසීය.

“විවාදය පහළ මට්ටමකයි තිබුණේ. එජාපයේ නියෝජ්‍ය නායකයා ජෝර්ජ් වොෂින්ටන් ගැනයි කතා කළේ. තමන් ආර්. ප්‍රේමදාස මහතාගේ පුතා බව කතාවෙන් කියා සිටියා. මේ රජයේ 10 වන අය-වැයයි ඉදිරිපත් කළේ. ලෝක ආර්ථික අවපාතයෙන් තවමත් ගොඩඒමට නොහැකි වී තිබෙනවා. තවත් පහළට වැටෙන බවයි පෙනෙන්නේ. වසර 30ක යුද්ධයෙන් පසු ව ජාත්‍යන්තර පරිසරය පවා අහිතකර ව තිබෙද්දීයි අප රටේ ආර්ථිකය මෙලෙස පවත්වාගෙන යන්නේ. ඒ ගැන අපි සතුටු විය යුතුයි. එය 6%ත් 8%ත් අතර පවත්වාගෙන යාමට හැකි වී තිබෙනවා.“ අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු පැවසූවේ “එක් කාරණයකට අපි අසමත් වී තිබෙනවා. විපක්ෂය ඒ ගැන කතා නොකරන නිසා මා කතා කරනවා. රජයේ ආදායම වැඩි වී නැහැ. සිරිමාවෝ මැතිණිය, ජේ.ආර්. ජනාධිපතිතුමාට රට භාර දෙන විට රජයේ ආදායම ඉතා ඉහළ මට්ටමක තිබුණා. එදා සිට අද වන තුරු ආදායම අඩු වුණා. අද වන විට රජයේ ආදායම වැඩි කර ගැනීමට රජයේ බදු වැඩි කර කටයුතු කර තිබෙනවා. ඒත් එය ප්‍රමාණවත් නැහැ. 77 සිට ජනතාව මත පනවන බදු වැඩි වුණා. මෙය ටික ටික වෙනස්  කළ යුතුයි. ලෝකයේ අඩුවෙන් ම ආදායම් බදු ගෙවන රට අපේ රටයි.

ආණ්ඩුව ණය ලබාගෙන ඇත්තේ පරිභෝජනයට නො ව සංවර්ධනයටයි. ආර්ථික සංවර්ධනය සඳහා දැනීමේආර්ථිකයක් අවශ්‍යයි. අද ශ්‍රමයට අත් දෙක පමණක් නො ව මොළයත් ඇතුළත්. රාජ්‍ය ආයතන 55න් පාඩු ලබන්නේ ආයතන 6ක් පමණයි. විදුලිබල හා තෙල් සංස්ථාව ද ලාභ ලබනවා.“  යැයි අමාත්‍යවරයා පැවසීය.‍

Rate this item
(0 votes)