May 09, 2024

මන්ත්‍රිවරු නැති සභාවේ අයවැය විවාදයේ

අයවැය විවාදයේ අද (28දා) පස්වරුවේ විවාදය සඳහා නම් නියමකර තිබූ ආණ්ඩු පක්ෂ හා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් සභාවේ නොසිටීම නිසා සභාරැස්වීම නියමිත වේලාවට පැයකුත් විනාඩි හතළිස් පහක් පමණ තිබියදී කල් තැබීමට මූලාසනයේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතාටසිදුව තිබේ.

අද පස්වරුවේ විවාදයට එක්වෙමින් සභාව අමතමින් සිටි එජනිස මන්ත්‍රී නෙරන්ජන් වික්‍රමසිංහ මහතා සිය කතාව පස්වරු 4.45ට පමණ අවසන් කළේය.

අනතුරුව විවාදයට එක්වීමට නියමිත ව සිටි එජාප මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මියගේ නම මූලාසනයෙන් අඬගැසූ විට ඇය සභාවේ නොසිටියෙන් අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ නම් කතා කිරීම සිදු විය. පළමුවෙන්ම ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍ය බෂීර් සේගුදාවුද් මහතාගේ නමද අනතුරුව එජනිස මන්ත්‍රී ජානක වක්කුඹුර හා එජනිස මන්ත්‍රී වී.කේ. ඉන්දික යන මන්ත්‍රීවරුන්ගේ නම්ද මූලාසනයෙන් ප්‍රකාශ කළ අතර ඔවුන් කිසිවෙකුත් සභා ගැබේ නොසිටියහ.

මේ නිසා අද පස්වරු 6.00 දක්වා පැවැත්වීමට නියමිත ව තිබූ විවාදය අවසන් කර සභාව කල්තැබීමට මූලාසනයට සිදුවිය.

අනතුරුව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කිරීමට මුලාසනයෙන් දැනුම්දුන්නේය. එහිදී අද සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත සිටිගාල්ල දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී අජිත් කුමාර මහතා සිය කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වුවද එම යෝජනාව විවාදයට ගැනීම සඳහා එය ස්ථිර කිරීමට විරුද්ධ පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙකු සභාවේ නොසිටි බැවින් පාර්ලිමේන්තුව හෙට (29දා) පෙරවරු 9.30 දක්වා කල් තැබීමට මුලසුනේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා නියම කළේය.

Rate this item
(0 votes)