May 08, 2024

අවුරුද්දකට වෛද්‍යවරු 500ක් රජයේ රෝහල් හැරයයි

මේ වන විට මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ 22000 ක පමණ වෛද්‍යවරුන් පිරිසක් සිටින අතර සෑම වසරකම 1900-2000 ත් අතර වෛද්‍යවරුන් පිරිසක් වෛද්‍ය ක්ෂේත්‍රයට එක් වනවා.

එමෙන්ම වසරකට 500 ට ආසන්න වෛද්‍යවරුන් පිරිසක් විශ්‍රාම ගැනීම හෝ විදෙස්ගත වීම සිදු වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරන්නේ.

මේ අතර සීමාවාසික වෛද්‍යවරුන් 1401 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය පසුගිය 25 වනදා සිදු කෙරුණා.

විශේෂඥ වෛද්‍යවරුන් යටතේ වසරක සීමාවාසික පුහුණුවක් සඳහා මෙම නිලධාරීන් දිවයින පුරා රෝහල් 64 කට අනුයුක්ත කිරීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් මෙම පත්වීම් ප්‍රදානය නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි. නිල වශයෙන් මෙහිදී සීමාවාසික වෛද්‍යවරුන් පිරිසකට පත්වීම් ප්‍රදානය කෙරුණු අතර දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට අනෙකුත් පත්වීම් ලාභීන් මෙම අවස්ථාවට සූම් තාක්ෂණයෙන් එක්ව සිටියා.

මේ වසරේ ජූනි මාසයේදී තවත් සීමාවාසික පත්වීම් 318 ක් ලබා දුන් අතර ඒ අනුව මෙම වසර තුළ එවැනි පත්වීම් 1719 ක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මෙලෙස ලබා දුන් පත්වීම් අතර 1066 දෙනෙකු ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය හැදෑරූ වෛද්‍ය සිසුන් වන අතර 335 දෙනෙකු විදෙස් විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය අධ්‍යාපනය හදාරා තිබෙනවා.

වසරක සීමා වාසික පුහුණුව සාර්ථකව නිමකෙරෙන වෛද්‍යවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පූර්ණ ලියාපදිංචියකට ලක් කෙරෙන අතර අනතුරුව මෙරට වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේ හැකියාව ඔවුනට පවතිනවා.

මේ අතර පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 1505 දෙනෙකු සඳහා වෛද්‍ය නිලධාරී පත්වීම් ලබාදීම පසුගිය 22 දා සිදු කෙරුණු අතර එම වෛද්‍යවරුන් දිවයිනේ ග්‍රාමීය හා පර්යන්ත රෝහල් කරා අනුයුක්ත කෙරිණි.

වෛද්‍ය වෘත්තිය යනු ලොව ඉතා ශ්‍රේෂඨ වෘත්තියක් බවත් ඒ තුළ විඳ දරා ගැනීමේ හැකියාව ඉතා ඉහළින් පැවතිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසුවා.

විශ්වවිද්‍යාල කරා ඇතුළුවන අනෙකුත් සිසුනට වඩා වෛද්‍ය සිසුනට විශාල කැපකිරිමක් සිදු කිරීමට සිදුවන බවද සංකීර්ණ විෂය ධාරාවකට හා ප්‍රායෝගික පුහුණුවකට වෛද්‍ය සිසුවා මුහුණ දීම අතිශය අභියෝගාත්මක ක්‍රියාවලියක් බවද හෙතෙම පෙන්වා දුන්නා.

වෛද්‍ය ශිෂ්‍ය වකවානුවේ මෙන්ම වෛද්‍යවරයෙකු වීමෙන් පසුවද ඉහළ මානසික ඒකාග්‍රතාවයක් නිරන්තරයෙන් තබාගැනීමේ අභියෝගයටද ඔවුන්ට මුහුණ දීමට සිදු වන බවයි අමාත්‍ය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසුවේ. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 October 2021 02:29