May 19, 2024

අයවැය දිහා ‘දේශපාලන කුහකකමින්’ බලනවා

ආණ්ඩුවක් විසින් සිදු කරන සාධනීය කර්තව්‍යයක් ඇගයීමට ලක් කිරීමට විපක්‍ෂයකට බැරි නම් ඉන් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ දේශපාලන කුහකකම බවත් විපක්‍ෂය මේ අයවැය දෙසත් බලන්නේ ඒ දේශපාලන කුහකකමින් පිරුණු දෑසින් බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (26) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ය.

“මා දුටුවා, ‘මේක ජාතික අය - වැයක් නොවෙයි, ජාතික අල්ලසක්’ කියා සුනිල් හඳුන්නෙත්ති ජවිපෙ මන්ත‍්‍රීතුමා පවසනවා. ඒ විවේචනය අහලා එයාගේ බිරිඳත් එයාට රැව්වා කියලා එතුමා පවසා තිබුණා. එතුමාගේ බිරිඳ ගුරුවරියක්නේ. එතුමියට ‘වැටුප් වැඩිවෙනවා, වැටුප් විෂමතා ඉවත් වෙනවා. සහන මිලට යතුරුපැදියකුත් ලැබෙනවානේ’ ඒ ‘අල්ලස’ එතුමාගේ ගෙදරටත් ලැබී තියෙනවානේ. ඒකයි මේ ‘රැවීමට’ හේතුව.“ යැයි ඔහු සඳහන් කළේය.

“මේ අය - වැය යෝජනාවලිය දෙස දේශපාලන ‘පාට කණ්නාඩි’ ගලවා බලන  ඕනෑම කෙනෙකුට එහි සාධනීය බව වැටහෙනවා. ජාතික නිදහස් පෙරමුණ මෙම අය - වැය යෝජනාවලියට තම දැඩි ප‍්‍රසාදය පළකර සිටිනවා’’ හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)