May 19, 2024

මාධ්‍යවේදින් බලන්න කතානායක යයි

පාර්ලිමේන්තු මාධ්‍යවේදින් මුහුණපාන දුෂ්කරතා මඟහරවා පාර්ලිමේන්තු සංකීර්ණයේ වාර්තාකරුවන්ගේ පරිශ්‍රයේ පවතින පහසුකම් සොයා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා අද (27) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී අදාළ නිලධාරීන්ට නියම කළේය.

අය-වැය ලේඛනය ඉදිරිපත් කළ දිනයේදී මුහුණපාන්නට සිදු වූ තත්ත්වයන් ගැන පළ වු මාධ්‍ය වාර්තා දැක ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා කළ දැනුම් දීමක් මත කතානායකවරයා ඇතුළු අදාළ නිලධාරීන් අය-වැය විවාදය පැවැත්වෙන අතරතුර දී ම මාධ්‍යවේදීන්ගේ නිල කාමරය වෙත පැමිණ මාධ්‍යවේදීන් හමු වී තොරතුරු විමසා ඇත.

මාධ්‍යවේදීහු වාර්තාකරණයේ දී තමන් මුහුණ පාන තත්ත්වයන් කතානායකවරයාට විස්තර කළහ. මාධ්‍ය කාමරයේ ෆැක්ස් යන්ත්‍රවල තත්ත්වය නිවැරදි කර පුටු සපයන ලෙස උපදෙස් දුන් කතානායකවරයා අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදෙන බවද කීය.

රාජකාරී කරගෙන යාමේදී තමන්ට පැන නඟින ගැටලු සම්බන්ධයෙන් තමාට දැනුම් දෙන ලෙස ද කතානායකවරයා මාධ්‍යවේදීන් ව දැනුවත් කළේය.    

මෙම අවස්ථාවට නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර්, වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර  යන මහත්වරු ද සහභාගී වූහ.

Rate this item
(0 votes)