May 19, 2024

උතුරට දුන්න සල්ලිවලින් ඇමතිවරු සැප අරන්

දැනට මධ්‍යම රජය විසින් උතුරු පළාත් සභාවට ලබාදී ඇති ප්‍රතිපාදන වලින් ඔවුන් වැය කොට ඇත්තේ සියයට විසි පහකට වඩා අඩු ප්‍රමාණයක් බව උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක සින්නතුරෙයි තවරාජා මහතා පවසයි.

මෙම මස 24 දිනට උතුරු පළාත් සභාව ස්ථාපිත කර වර්ෂයක් පූර්ණවන මුත් වර්තමාන පළාත් සභා පාලකයින් කිසිදු ප්‍රයන්තයක් උතුරේ ජනතාවගේ ප්‍රශ්ණ විසඳීමට රැගෙන නැති බවද රජය විසින් ලබාදී ඇති ප්‍රතිපාදන වලින් ඔවුන් වැය කොට ඇත්තේ සියයට විසි පහකටත් වඩා අඩු ප්‍රමාණයක් බවද හෙතෙම පෙන්වා දෙයි.

එම ප්‍රමාණයත් සංවර්ධන කටයුතු සඳහා නොව මහ ඇමතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ වාහන ගැනීම ඇතුළු ඔවුන්ගේ සුඛ විහරණය සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා බව අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේය.

තමා මේ පිළිබඳව විවෘත මාධ්‍ය විවාදයකට උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයාට හෝ දෙමළ ජාතික සංධානයේ වගකිව යුතු දේශපාලඥයෙකුට අභියෝගාත්මක ආරාධනාවක් කරන බවද සින්නතුරෙයි තවරාජා මහතා පැවසීය.

පසුගිය දා ගරු ජනාධිපතිවරයා විසින් උතුරේ සංවර්ධන කටයුතු සඳහා පැවැත්වූ උතුරු සංවර්ධන සභා රැස්වීම් වලට මහ ඇමතිවරයා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඇරයුම් කර තිබුණද ඔවුන් කිසිවකු එම රැස්වීම් වලට සහභාගී නොවු බවත් එසේ සහභාගී නොවීමට හේතුව ඔවුන් ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකර ඇති බවත් ඒවා හෙළිදරව් වීමෙන් ඔවුන්ගේ වංචාකාරී ප්‍රෝඩාකාරී ආත්මාර්ථකාමී දේශපාලනය හෙළිදරව් වන බැවින් ඊට ඇති බිය නිසා බවද ඔහු සඳහන් කළේය.

 

Rate this item
(0 votes)