May 19, 2024

හෙළ උරුමය ආයෙත් රජය සමඟ 'තීරණාත්මක සාකච්ඡාවක'

ජාතික හෙළ උරුමයේ නියෝජිතයින් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (27) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

ඔහු අප කළ විමසීමකදී සඳහන් කළේ ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව ඊයේ (26) රැස්වූ බවත් එහිදී රජයට ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත්ය.

රජයට ඉදිරිපත් කළ එම යෝජනාවලියේ ජනාධිපතිවරණයට පෙර ක්‍රියාත්මක කළ යුතු යෝජනා පිළිබඳවත් සාකච්ඡා කළ බව ද හෙතෙම සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රීලංනිප ප්‍රධානීන් සමඟ අද අරලියගහ මන්දිරයේදී සාකච්ඡා කිරීමට නියමිත බවත් එහිදී සිය යෝජනා පිළිබදව නිදහස් පක්ෂ නියෝජිතයන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසී ය.

අයවැයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීම පිළිබදව ඉදිරි දින කිහිපය තුළ අවසන් තීරණයක් ගනු ලබන බවද නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

පසුගිය දා පැවැති ජාතික හෙළ උරුමයේ 11 වන ජාතික මහා සමුළුවේදී සම්මත කර ගත් යෝජනා 7ක් පසුගිය 21 වැනි දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දුන්නේය. අදාළ යෝජනා පිළිබද සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණීමට දින 5ක කාලයක් රජය ඉල්ලූ අතර අදාළ දින පහක කාලසීමාව ඊයේ (26) දිනයෙන් අවසන් විය.

 

Rate this item
(0 votes)