May 17, 2024

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජනපති හමුවෙයි - ත්‍රිකුණාමලය ගැනත් මතක් කරයි

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවුණා.

කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් අසල්වාසි රටවල ස්ථාවරභාවය තම රට ඉහළින් අපේක්ෂා කරන බව ජෙනරාල්වරයා සාකච්ඡාව අරඹමින් සඳහන් කළා.

යුද හමුදා සේවා කාලය තුළ තමා ඉන්දියාවේ දී ලද හමුදා පුහුණුවීම් සහ අත්දැකීම් පිළිබඳ ආවර්ජනය කළ ජනාධිපතිවරයා, ඉන්දීය හමුදා පුහුණුවීම් මඟින් මෙරට හමුදා නිලධාරීන්ට ලැබෙන නායකත්ව හැකියාව පිළිබඳ සිය ප්‍රසාදය පළ කරනු ලැබුවා.

දේශ සීමා ගණනාවකින් වටව ඇති ඉන්දීය රජයේ ආරක්ෂාව තහවුරු කරගැනීම, කඳු ආශ්‍රිත දුෂ්කර ප්‍රදේශවලදී හමුදා සුබසාධන කටයුතු සහ ඉන්දීය හමුදා නිලධාරීන් නායකත්ව පුහුණුවීම් සඳහා යොමු කෙරෙන නිලයන්  පිළිබඳ ජනාධිපතිතුමා ජෙනරාල් මනෝජ් මුකුන්ද් මහතාගෙන් තොරතුරු විමසා සිටියා.

බලසේනාධිපතිවරයෙකු ලෙස පත්වීමෙන් පසු ඉන්දීය යුද හමුදා නිලධාරීන් නායකත්ව පුහුණුවීම් සඳහා යොමු කෙරෙන අතර ඒ ඒ නිලයන් විශ්‍රාම ගැන්වෙන වයස් සීමාවන් පිළිබඳ ජෙනරාල්වරයා කරුණු පැහැදිලි කරනු ලැබුවා.

ශ්‍රී ලංකා හමුදා නිලධාරීහු දහසකට ආසන්න පිරිසක් වාර්ෂිකව ඉන්දියාවේ දී යුද පුහුණුව ලබන අතර එම පිරිසට අමතරව ඉදිරි කාලය තුළදී හමුදා නිලධාරීන් 50 දෙනෙකුට විශේෂයෙන් සකස් කළ පුහුණු පාඨමාලාවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ඉල්ලීම මත ලබාදීමට පියවර ගන්නා බව ඉන්දීය හමුදා ප්‍රධානියා පවසා සිටියා.

ඉන්දීය සාම සාධක හමුදාව නියෝජනය කරමින් ත්‍රිකුණාමලය 4 කණුව ප්‍රදේශයේ සේවය කළ කාලසීමාවේදී ලද අත්දැකීම් පිළිබඳ මතකය මෙම සංචාරය තුළින් නැවතත් අලුත් කෙරුණු බව  ජෙනරාල් මනෝජ් නාරාවන මහතා සඳහන් කළා.

තමාට ද හිටපු හමුදා නිලධාරියෙකු ලෙස මෙවැනි අවස්ථාවක මතකයන් සිහිකරමින් කතාබහ කිරීමට ලැබීම ගැන සතුටු වන බව ජනාධිපතිවරයා එහිදී ඉන්දීය හමුදා ප්‍රධානියාට පවසා සිටියා.

ඉන්දීය යුද හමුදා මූලස්ථානයේ පුහුණු අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් රජීව් තාපර්, යුද උපදේශක මේජර් ජෙනරාල් වික්‍රාන්ත් විලාස් නයික්, විදේශ කටයුතු අංශයේ නියෝජිත කර්නල් මන්දීප් සිංග් දිල්ලන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 14 October 2021 10:05

Related items