May 20, 2024

අරවින්දගේ සේප්පුවේ තිබ්බේ 'රතුවිතානගේ පුතාගේ' සල්ලි

අරවින්ද ද සිල්වාගේ සේප්පුවේ තිබී අතුරුදන්වූ විදෙස් මුදල් ප්‍රකට ජ්‍යෙතීර්වේදියකු වන පියසේන රතුවිතාන මහතාගේ  පුත්‍රයා ගේ බව වාර්තාවෙයි. ඔහුට අයත් මුදල් ආරක්‍ෂාව සඳහා තැන්පත් කරන්නේ අරවින්දගේ නිවසේ පිහිටි සේප්පුවේය.හොරකම සිදුවන අවස්‌ථාවේ රතුවිතාන මහතාගේ පුත්‍රයාට අයත් ස්‌ටර්ලිං පවුම් තොගයක්‌ද සේප්පුවේ තිබිණි. ඒ මුදල් ද හොරුන් රැගෙන ගොස්‌ තිබූ බව පසුව හෙළිවිය.
 
අරවින්ද පදිංචි අලුත්ම නිවහන ඉදිවුණේ මෑතකදීය. ඒ කොළඹ තර්ස්‌ටන් පාරේය. උපාලි විජයවර්ධන මහතාගේ නිවසට යාබදව ඉදිවූ පුංචි මාලිගය සඳහා අරවින්ද විශාල ධනස්‌කන්ධයක්‌ වැය කළේය.සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත වූ මේ නිවහන සඳහා ආරක්‍ෂාව සැපයීමට නවීනතම ආරක්‍ෂිත ක්‍රමවේදයන් කීපයක්‌ම යොදවා තිබිණි.
 
පසුගිය දා අරවින්ද සිය බිරිඳ සමඟ විදේශ සංචාරයක්‌ සඳහා පිටව ගියේය. විදේශ සංචාර අරවින්දට සාමාන්‍ය දෙයකි. නිවස මෙන්ම පවුලේ සාමාජිකයන් ගැන ද ඔහුට බියක්‌ සැකයක්‌ තිබුණේ නැත. ඒ තරමටම නිවස සුරක්‍ෂිතව තිබිණි.
 
අරවින්ද සිය බිරිඳ සමඟ විදේශගත වුවද දරුවන් දෙදෙනා සිටියේ තර්ස්‌ටන් පාරේ පිහිටි නිවසේය. දරුවන් බලා ගැනීමට මෙන්ම අනෙකුත් වැඩකටයුතු සඳහා සේවක සේවිකාවන් හත්දෙනකු මේ නිවසේ සිටියහ.
 
දින කීපයක විදේශ සංචාරයෙන් පසු අරවින්ද සිය බිරිඳ සමඟ නිවසට ආවේ පසුගිය 21 වැනිදා පෙරවරුවේය. කිසිදු විශේෂත්වයක්‌ නොමැතිව නිවසේ වැඩකටයුතු සාමාන්‍ය පරිදි කෙරෙමින් පැවතිණ.අරවින්දගේ නිවසේ සේප්පුව තිබුණේ උඩුමහලේ නිදන කාමරයට යාබදව පිහිටි කාමරයකය.
 
අරවින්ද මහත් කලබලයට පත්වූයේ තම සේප්පුව පරීක්‍ෂා කරද්දීය. සේප්පුවේ තැන්පත් කර තිබූ මුදල් කිසිවක්‌ එහි නොවූ බව දැකීමෙන් අරවින්ද අන්දුන් කුන්දුන් වුණේය.සේප්පුව විවෘත කිරීම සඳහා රහස්‍ය අංකයක්‌ භාවිත කළේය. ඒ අංකය දැන සිටියේ අරවින්ද ඔහුගේ බිරිඳ සහ මෑණියන් පමණි. සේප්පුව විවෘත කර තිබුණේ ඊට කිසිදු හානියක්‌ නොකර රහස්‍ය අංකය භාවිත කරමින් බව සොයාගන්නට අරවින්දට එතරම් අපහසු වුණේ නැත.
 
ඒ මොහොතේම මේ පිළිබඳව කොල්ලුපිටිය පොලිසිය වෙත පැමිණිලි කිරීමට ඔහු පියවර ගත්තේය. ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල කොල්ලුපිටිය පොලිසියේ ස්‌ථානාධිපති වජිර සහ අපරාධ අංශයේ ස්‌ථානාධිපති කුලරත්න ඇතුළු නිලධාරින් අරවින්දගේ නිවසට පැමිණ සිය පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළහ.
 
අරවින්දගේ සේප්පුව විවෘත කිරීමට රහස්‍ය අංකයට අමතරව තවත් යතුරක්‌ ද විය. එක්‌ යතුරක්‌ අරවින්ද සතුව තිබූ අතර අනෙක්‌ යතුර සේප්පුව නිෂ්පාදනය කළ සමාගම ප්‍රධාන කාර්යාලය භාරයේ තිබෙන බවද පොලිසිය සොයා ගත්තේය.
 
එහෙත් සිකුරාදා (24 වැනිදා) වනතුරුත් පොලිසිය අරවින්දගේ සේප්පුවේ මුදල් සොරාගත් පුද්ගලයා පිළිබඳව වැදගත් යමක්‌ හොයා ගැනීමට සමත්ව තිබුණේ නැත.
 
Rate this item
(1 Vote)