May 20, 2024

අයවැය යෝජනා සියල්ල මෙන්න

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 වසර සඳහා වන අය-වැය යෝජනා අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එහිදී විවිධ අංශ සඳහා බදු සහනද, වැටුප් හා දීමනා වැඩිවීම්, සංවර්ධන යෝජනා ක්‍රම සඳහා මුදල් වෙන් කිරීම් ඇතුළු සහන රැසක් ලබා දී තිබිණි.

2015 අයවැය යෝජනාවන්හි සාරංශයක් පහතින් දැක්වේ.

මෝටර් රථ ආනයනයේදී අය කරන  විවිධ බදු වෙනුවට විශේෂ විධි විධාන නිෂ්පාදන බද්දක් ක්‍රියාත්මක කෙරේ.

මෙම සරල බදු ක්‍රමය තුළින් රුපියල් මිලියන 5000ක අතිරේක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

සුපිරි මට්ටමේ සිල්ලර වෙළෙඳසල් සඳහා එකතු කළ අගය මත බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අය කිරීමට අදාළ පිරිවැටුම කාර්තුවකට, රුපියල් මිලියන 100 මට්ටමක පවත්වාගෙන යාමටත්, මිලියන 15 කට අඩු වාර්ෂික පිරිවැටුම සහිත කුඩා ව්‍යාපාර එම බදු වලින් නිදහස් කිරීමට මෙවර අයවැයෙන්‍ යෝජනා කර තිබේ.

සරසවි සිසුන් සඳහා ලබා දෙන මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 4000 දක්වා ඉහළ දමන බවත් 5 ශිෂ්‍යත්වය සමත් සිසුන්ට ලබා දෙන ශිෂ්‍යාධාර මුදල රුපියල් 500 සිට රුපියල් 1500දක්වා වැඩි කරන බවත් ශිෂ්‍යාධාර ප්‍රමාණය 15,000සිට 25,000 දක්වා ඉහල නංවන බවත් ජනාධිපතිවරයා පැවසීය.

පෙර පාසල් ගුරුවරුන් රුපියල් 2500ක දීමනාවක් ලබා දෙන බවත් සියලු ප්‍රාථමික පාසල් අසල පෙර පාසල් ඇරඹීමට රජයෙන් ප්‍රතිපාදන ලබා දෙන බවත් හෙතෙම සඳහන් කළේය.

නිවාසවලට සැපයෙන මුල් ජල ඒකක 25 සඳහා අය කරන මුදල සියයට 10කින් අඩු කෙරේ.

වී කිලෝවක මිල රුපියල් 34 සිට 40 දක්වා වැඩි කිරීමටද අස්වනු නෙළන කාලයේදී අල, ලුණු හා මිරිස් සඳහා සහතික මිලක් ලබාදීමටද, වී වගාව සදහා සියළුම වර්ගයේ කිලෝ 50 ක පොහොර මල්ලක් රුපියල් 350 කට  තවදුරටත් ලබා දීමටත්, වී කිලෝවක සහතික මිල රුපියල් 34 යි සිට 40 දක්වා වැඩී කිරිමට අයවැය මගින් යෝජනා කර ඇත.

2017 වසර වන විට උතුරු සහ රත්නපුර අධිවේගී මාර්ගවල ඉදිකිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට සමගාමීව කැලණිවැලි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ද අවසන් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙරට සෑම පුරවැසියෙකුම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ. රජරට පැතිර යන වකුගඩු රෝගයට ගොදුරුව පීඩාවට පත්ව සිටින රෝගීන්ට මසකට රුපියල් 3000ක ජීවන ආධාරයක් ලබා දීමටද අයවැය මගින් යෝජනා කර ඇත.

දේශීය කිරි ලීටරයක මිල රුපියල් 60දක්වා වැඩිකිරීමටත් දේශීය කිරිපිටි පරිභෝජනය සඳහා එම කිරිපිටි කිලෝ එක රුපියල් 100කින්ද ,යෝගට් රුපියල් 3.00කින් අඩු කිරීමට ද යෝජනා කෙරේ.

ඇඟළුම් කර්මාන්ත සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කෙරේ.

සියළු ළදරු කිරිපිටි බදු මුදල් වලින් නිදහස් කෙරේ. වැඩිහිටියන් සඳහා වූ රුපියල් 1000ක මාසික දීමනාව 2015 වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2,000 දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

එසේම වැඩිහිටියන්ට විවේකීව කාලය ගත කිරීම සඳහා දිවා මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙලක් ද ඇරඹීමටත්, අබාධිත පුද්ගලයින් සඳහා රුපියල් 3,000ක මාසික දීමනාවක් ද ආබාධිත දරුවන් පාසල් යැවීම දිරි ගැන්වීම සඳහා රුපියල් 750ක මාසික ප්‍රවාහන දීමනාවක් ලබා දීමට ද අයවැය මගින් යෝජනා කෙරේ.

ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීමට දූ පුතුන් බාරදුන් මව්පියන් වෙනුවෙන් දැනට ලබාදෙන රුපියල් 750 දීමනාව රුපියල් 1000 දක්වා වැඩි කෙරේ. එම දීමනාව පොලීසියේ හා සිවිල් ආරක්ෂක සේවයේ අයටද ලබන වසරේ සිට ලබාදීමට 2015 අය වැයෙන් යෝජනා කෙරේ.

ත්‍රිරෝද රථ කරුවන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කෙරේ.

විදේශ රටවල ජිවත්වන ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොමැති ශ්‍රි ලාංකික දරුවන්ට සිය මව් රටට සේවය කිරීම සදහා ද්විත්ව පුරවැසිභාවය හා පස් අවුරුද්දක් ශ්‍රී ලංකාවට පැමිණ සිය සේවාව ලබා දෙමින් වැඩ කිරීමට විසා නිකුත් කිරීමට යෝජනා කෙරේ.

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීමට 2015 සඳහා වූ අයවැය යෝජනා තුළින් යෝජනා ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම ඔවුන් මෙරටට ගෙන එනු ලබන මුදලින් 60% ක් දක්වා වූ වටිනාකමක්, මෝටර් රථයක් ගෙන ඒම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමටද පියවර ගෙන තිබේ.

රාජ්‍ය සේවකයාගේ අවම වැටුප රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට අද ඉදිරිපත් කරන ලද අයවැයෙන් යෝජනා කර ඇත. මෙතෙක් ලබාදුන් විශේෂ දීමනාව වැටුපට එකතු කිරීමටද 2015 වසරේ ජනවාරී මස සිට ජීවන වියදම් දීමනාව රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීමටද ඒ අනුව යෝජිතය.

පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම වැටුප රුපියල් 10,000 දක්වා වැඩි කිරීමටත් ඔවුන්ගේ සේවක සේවක අර්ථසාධක අරමුදල සඳහා සේවා යෝජකයා විසින් ගෙවනු ලබන සියයට 12ක අරමුදල සියයට 14 දක්වා වැඩි කිරීමටත් අයවැය යෝජනා මගින් ඉදිරිපත් කර ඇත.

2015 වන විට අමෙරිකන් ඩොලර් 4000ක් වන ඒක පුද්ගල ආදායම වසර 2020දී ඩොලර් 7500 දක්වා වැඩි කරමින් ඉහළමැදි ආදායම් ලබන රටක් බවට ශ්‍රී ලංකාව පත්කරන බව ජනාධිපතිවරයා පැවසීය. 

එසේම කැසිනෝ ශාලා සඳහා ඇතුළුවීමේදී ඩොලර් 100ක බද්දක් අය කිරීමටත්, වාහන සඳහා විශේෂ බද්දක් හඳුන්වාදීමටත් අයවැය යෝජනා මගින් යෝජනා කරයි. 

තැපැල් දෙපාර්තමේන්තුවේ පාපැදි වෙනුවට යතුරු පැදි ලබා දීමට මෙවර අයවැය යෝජනා තුළින් කටයුතු කෙරේ.

2015 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් එක්දහස් අටසිය දොළොස් බිලියන දෙසිය අනු දෙමිලියන හත්සිය දහඅට දහසක් බවට සඳහන් ඇස්තමේන්තුව ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් 26 වැනි දා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.  

 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 24 October 2014 17:56