April 28, 2024

"ඔයිට වඩා හොඳ ගලක් මගෙ ලඟ තියෙනවා" - තවත් මැණික් ව්‍යාපාරිකයෙකු හෙළි කරයි

මෙරටින් හමු වූ ලොව විශාලතම නිල් ආරුනූල් වර්ගයේ මැණික් පොකුර කිසිදු වටිනාකමකින් තොර බව ප්‍රවීණ මැණික් ව්‍යාපාරිකයෙකුවන එල්.එල්.ඒ. නන්දන මහතා පවසනවා.

ඔහු රත්නපුර ප්‍රදේශයේ මැණික් කෞතුකාගාරයක් ද පවත්වාගෙන යනු ලබන්නෙක්.

මේ ආකාරයේ පාෂාණ දුර්ලභ නොවන බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මෙම මැණික් පොකුර තක්සේරු කර තිබීම පිළිබඳව තමන් දැඩි සේ විශ්මයට පත් වී සිටින බව යි.

තමන් දන්නා හඳුණන මැණික් ව්‍යාපාරිකයෙකු මෙවැනිම ආකාරයේ පාශාණයන් දෙකක් මිදුලෙහි තබා ඇති බව ද ඔහු පවසනවා.

වසර 40ක පමණ කාලයක් තිස්සේ තමන් ද මැණික් ව්‍යාපාරයේ යෙදෙන්නෙකු බවත්, මේ ආකාරයේම පාෂාණයන් තමන් සතුව ද පවතින බවත්, එවැනි පසුබිමක මෙම මැණික් පොකුර මිලියන ගණනක් වටින බවට පුවත් පළ වීම සම්බන්ධයෙන් තමන් හට සිතාගැනීමට හෝ නොහැකිව සිටින  බවත් ඔහු අවධාරණය කරනවා.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් නන්දන මහතා මෙලෙස ප්‍රකාශ කළා.

“මේ වගේ ගල් ඕන තරම් තියෙනවා දකින්න. කුමාර මුදලාලිගෙ ගෙදර තියෙනවා ගල් දෙකක් මිදුලෙ දාලා; ඒ ජාතියේම. මේක කරන්ඩම් ජාතියේ ගලක්; කට්ටයකට ගල ඇලිච්ච. ගල් ගොඩක්, ගල් පොකුරක් හැදිලා තියෙන්නේ. එහෙම ලොකු වටිනාකමක් නෑ. මැණික් සංස්ථාවෙන් මේක දැන් තක්සේරු කරලා තියෙනවා. මට මේ පුදුමයක් වෙලා තියෙන්නේ. මමත් මේ අවුරුදු 40ක් විතර මැණික් බිස්නස් කරනවා; ඔය කොලිටියෙන්ම ගල් එකතු කරනවා. මං ගාව තියෙනවා ඔයිට වැඩිය හොඳ ගලක්. මට පුදුමයි මේ ගල මෙච්චර මිලියන ගාණක් වටිනවයි කියලා කියනවා. මම පුදුම වෙලා, හොල්මන් වෙලා ඉන්නෙ ඇත්තටම. මේක මාබල් එකක්. මේ මාබල් එකේ සෆායර් ක්‍රිස්ටල් ඇලිලා තියෙන්නේ. පුදුමයි. අනේ මන්දා මේකෙ වටිනාකමක් නෑ. මේ ගල අස්සෙන් දාලා කෝටි ගාණක වෙන ගලක් රට පටවන්න හදනවද දන්නෑ”

මේ අතර මෙම මැණික් පොකුර විශාල වටිනාකමකින් යුතු නැති බවට මෙලෙස අදහස් පළවන පසුබිමක අදාළ මැණික් පොකුර සොයා ගත් පුද්ගලයා මාධ්‍යට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන බව ඒෂියන් මිරර් රත්නපුර වාර්තාකරු සඳහන් කරනවා.

මාධ්‍යවේදීන්ට පමණක් නොව කිසිදු පුද්ගලයෙකුට ඔහුගේ නිවස පිහිටි භූමියට ඇතුළු වීම තහනම් වී ඇති බව යි වාර්තා වන්නේ.

එපමණක් නොව ඔහු සිය දුරකතනයට ද පිළිතුරු ලබා නොදෙන බව සඳහන්.

සිය නිවස පිටුපස ළිඳක් කනිමින් සිටිය දී මෙම මැණික් පොකුර අදාළ පුද්ගලයාට හදිසියේ හමු වූ බව මීට පෙර වාර්තා වූවා.

මෙම සිදුවීම වී ඇත්තේ මීට වසරකට පමණ පෙර යි.

මැණික් පොකුර සොයාගත් පුද්ගලයා මහා මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස මෙරට බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණත්, ඔහු පතල් කර්මාන්තයේ යෙදෙන්නෙකු බව අප වාර්තාකරු පවසනවා.

එවන් පසුබිමක් මත අදාළ පතල්කරු වාසය කරන ප්‍රදේශයේ පුද්ගලයින් බොහෝ දෙනෙකු අදහස් පළ කරමින් පවසා ඇත්තේ මෙම මැණික් පොකුර ළිඳක් කැපීමේ දී හමු වූ බවට තමන් විශ්වාස නොකරන බව යි.

මෙම පතල්කරු සතුව පතල් කිහිපයක් පවතින බවත්, ඒවායින් එක් පතලකින් මෙම මැණික් පොකුර හමුවන්නට ඇති බවත් ඔවුන් පවසනවා.

මැණික් පොකුර හමු වූ නිවැරදි ස්ථානය පැවසුවහොත්, විවිධ පුද්ගලයින් පැමිණ අදාළ ස්ථානය සහ අවට මහා පරිමාණයෙන් හෑරීමට ඉඩ ඇති නිසා මෙලෙස සත්‍ය සඟවන බවට ද ප්‍රදේශවාසීන් සැක පළ කරනවා.

එමෙන්ම ප්‍රදේශවාසීන් ද වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම මැණික් පොකුර මාධ්‍යවාර්තාවන් හි පළ වූ තරම් වටිනාකමක් නොමැති බව තමන් විශ්වාස කරන බව යි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 July 2021 19:59