May 20, 2024

(EXCLUSIVE) මීළඟ පොදු අපේක්ෂකයා ගැන වෙල්ගමගෙන් ඉඟියක්: සජිත් නොවෙන්නත් පුළුවන්

මීළඟ ජනපතිවරණයේදී රාජපක්ෂ කඳවුරට එරෙහි පොදු අපේක්ෂකයා පිළිබඳව ඉඟියක් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ලබාදෙන්නේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ මීළඟ ජනපතිවරණයට තව වසර දෙක තුනක් තිබෙන බැවින් රාජපක්ෂ කඳවුරට එරෙහි වූ පොදු අපේක්ෂකයා දැන්ම ප්‍රකාශ කිරීමට නොහැකි බවයි.

විදේශිකයෙකු වෙන්නත් පුළුවන්

එය ඒ කාලය වන විට මහජනතාව අතරින් නැගෙන ඉල්ලීමකට අනුව සිදුවනු ඇති බව සඳහන් කරන මන්ත්‍රීවරයා ද්විත්ව පුරවැසි නීතිය බල පැවැත්වෙන බැවින් ඇතැම් විට ද්විත්ව පුරවැසිභාවය හිමි චීන ජාතිකයෙක් වුණත් ඒ සඳහා ඉදිරිපත් වීමට හැකි බවයි පෙන්වා දෙන්නේ.

සමගි ජන බලවේගය දැනටමත් සජිත් ප්‍රේමදාස මහතා මීලඟ ජනපති අපේක්ෂකයා ලෙස නම් කොට ඇති බව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ එය එම පක්ෂයේ තීරණයක් බවත් එහෙත් එය එම පක්ෂය සමග සිටින සන්ධානගත පක්ෂවල අදහසක් නොවන බවයි.

සමගි ජන බලවේගයේ සාමාජිකත්වය

තමාද සමගි ජන බලවේගය සමග සිටින්නේ තමා නායකත්වය දරන නව ලංකා නිදහස් පක්ෂයේ සන්ධානගත පාර්ශවයක් ලෙස බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඒ නිසා තමා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගෙන නොමැති බවත් එනිසා තමා එහි සාමාජිකයෙකු නොවන බවයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

වෙල්ගම මන්ත්‍රීවරයා මේ වන විට "අපි ශ්‍රී ලංකා" නමින් නව පක්ෂයක් පිහිටුවීමටද සූදානමින් සිටින අතර එහි අරමුණ  විදෙස් ගතව සිටින චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියගේ පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒව බවත් වාර්තා වනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 10 July 2021 06:18