May 18, 2024

පළමු ග්‍රාම නිලධාරී වසමට ගිය පළමු රාජ්‍ය නායකයා

ඩෙල්ෆ්ට් දූපතේ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීම ඊයේ (14) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු විය.

දිවයිනේ පළමු ග්‍රාම සේවා කොට්ඨාසය වන ඩෙල්ෆ්ට් දූපතට රාජ්‍ය නායකයෙකු පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපතිවරයා ඊයේ පෙරවරුවේ ඩෙල්ෆ්ට් දූපත වෙත පැමිණියේය. 

ඒ අනුව ජනාධිපතිවරයා අතින් පළමු වරට එහි අලුතින් ඉදිකෙරුණු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට පත් කෙරුණු අතර ඩෙල්ෆ්ට් ජනතාවගේ සේවා අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් සියලු පහසුකම්වලින් සමන්විත ව මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිකර ඇත. මේ සඳහා රජය රුපියල් මිලියන 78ක් වැය කොට ඇත. ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරු ව ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

ඉන් අනතුරු ව අධ්‍යාපනයේ පහසුකම් සහ වරප්‍රසාද කිසිදා නොලැබුණු ඩෙල්ෆ්ට් මහා විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ද එම පහසුකම් නොඅඩුව ලබාදෙමින් ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පැවරිණි.

අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ සියලු පහසුකම්වලින් සමන්විත මෙම විද්‍යාගාරය ඉදි කර ඇති අතර විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීය.

අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, බන්දුල ගුණවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Rate this item
(0 votes)