May 18, 2024

යාල් දේවියේ ගාස්තුව හා වේලාව මෙන්න

යාල් දේවී දුම්රිය අද (14) සිට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර යාපනය දක්වා ගමන් කරන බවත් යාල් දේවි දුම්රියේ ආසන වෙන්කිරීමේ හා මැදිරි වෙන්කිරීමේ පහසුකම්ද සලසා ඇති බවත් දුම්රිය දෙපාර්තුමේන්තුවෙ වානිජ අධිකාරී සිසිර කුමාර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසීය. 

ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ යාල්දේවී දුම්රිය අද සිට මගී ජනතාවට යාපනය දක්වා ගමන් කිරීමට හැකියාව පවතී. අද දින ගමන් කළ දුම්රිය ගමන් වාර 3 සඳහා ඉහළ ප්‍රතිචාර තිබූ බවත් මෙම දුම්රිය ගමන් සඳහා ඉන්දියාවෙන් හා චීනයෙන් ගෙන්වූ පහසුකම් සහිත දුම්රිය යොදවා ඇති බවත් හෙතෙම සඳහන් කළේය. 

ඒ අනුව අධි සුඛෝපභෝගී මැදිරියේ එක් ආසනයක් සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 1,500ක් වන අතර පළමු පන්තියේ වෙන් කළ ආසනයක් සඳහා රුපියල් 900ක් ද, දෙවන පන්තියේ වෙන්කළ ආසනයක් සඳහා රුපියල් 800ක් ද, තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් සඳහා රුපියල් 320ක මිලක්ද නියම කර ඇත.

ආසන වෙන්කිරීම මොබිටෙල්, ඩයලොග් හා එටිසලාට් ජංගම දුරකතන හරහා 365 හෝ ටෙලිකොම් දුරකනන හරහා 1365 ඇමතීමෙන්ද සිදුකළ හැක. 

අද පෙරවරු 6.30ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන යාල් දේවී දුම්රිය පෙරවරු 7.15ට කොළඹ කොටුවට පැමිණෙයි. එම දුම්රිය යාපනය දුම්රිය ස්ථානය වෙත පස්වරු 3.07ට ළඟා වේ.

මීට අමතරව අද සිට ගල්කිස්සෙන් පෙරවරු 5.10ට ආරම්භ වන A/C සුපර් ලක්සරි දුම්රිය 11.56ට යාපනය ‍දුම්රිය ස්ථානය වෙත ළඟා වේ. මේ දුම්රිය පෙරවරු 5.50ට කොළඹ කොටුව වෙත පැමිණේ. එතැන් සිට අනුරාධපුර, වව්නියාව, කිලිනොච්චිය දක්වා දුම්රිය ස්ථානවල පමණක් නවත්වනු ඇති බවද සිසිර කුමාර මහතා සඳහන් කළේය.

දැයට කිරුළ දුම්රිය අද සිට කොළඹ කොටුවෙන් පෙරවරු 11.50ට ආරම්භ වී පස්වරු 6.15ට යාපනය වෙත ළඟා වනු ඇත. 

රාත්‍රී තැපැල් දුම්රිය ද අද සිට රාත්‍රී 7.45ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන අතර මේ දුම්රිය පසුදා පාන්දර 5.07ට යාපනය වෙත ළඟා වේ.

මගී ජනතාවට මේ දුම්රිය ගමන් සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර ක්ෂණික ඇමතුම් (On line) හරහා කලින් වෙන් කර ගත හැකි වේ. දිනකට කොළඹ සිට යාපනය දක්වා දුම්රිය 04ක් ද යාපනයේ සිට කොළඹ දක්වා දුම්රිය 04ක් ද ධාවනයේ යෙදවීමට නියමිතය.

 

 

Rate this item
(2 votes)