May 18, 2024

පොලීසිය ගස් බැන්ද සිද්ධියට ඩීඅයිජී මැදිහත් වෙයි 

හලාවත පොලීසියේ නිලධාරීන් දෙනෙකුව ගස් බැද පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කුලියාපිටිය කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආන්නද සේරසිංහ මහතාව පත් කර ඇත.

ඊයේ (12) ආරච්චිකට්ටුව - අඩිප්පල,ලියන්කැලේ  ප්‍රදේශයේදී මෙම පහර දීම සිදු කර ඇත.

සිද්ධියේදී තුවාල ලැබූ පොලිස් පරීක්ෂක සුගත් බන්දුල දිසානායක සහ පොලිස් සැරයන් 31644 ප්‍රසන්න යන නිලධාරීන් මේ වන විට හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙහිදී පොලිස් නිලධාරීන්ගේ පහර කෑමට ලක්වූ බව කියන අඩිප්පල පදිංචිකරුවන් වන සෝමසුන්දරන් සහ ක්‍රිෂ්ණකුමාර යන දෙදෙනා ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් වී ඇත.

කසිප්පු අලෙවි කරන ස්ථානයක් වැටලීමට සිවිල් ඇදුමින් සැරසී පොලිස් නිලධාරීන් දෙදෙනා ගොස් ඇති අතර එහිදී ගම්වාසීන් හා පොලිස් නිලධාරීන් අතර ගැටුම හට ගෙන ඇත. ගම්වාසීන් විසින් පහර දී ගස් බැද සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාව එහි ගිය වෙනත් පොලිස් කණ්ඩායමක් විසින් බේරා ගෙන ඇත.

සිද්ධිය වන අවස්ථාවේදී පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා බීමතින් සිට නැති බව ඔවුන්ව පරීක්ෂා කර ඇති හලාවත මහා රෝහලේ වෛද්‍යවරයෙකු පවසා ඇත.

මෙම නිලධාරීන් නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී කාන්තාවකට අතවර කිරීමට උත්සහ කර ඇති බවට ඇතැම් අය ගෙනයන ප්‍රචාර සත්‍යයෙන් තොර බව හලාවත කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු පැවසීය. කුලියාපිටිය කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් කරණු ලබන පරීක්ෂණයෙක් පසුව සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගන්නා බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.  

පුත්තලම - ජුඩ් සමන්ත 

 

Rate this item
(0 votes)