May 05, 2024

ද්‍රව්‍යවලට හානි නොකර පරීක්ෂා කිරීමට ඇමති චම්පිකගෙන් අළුත් වැඩක්

නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය (NCNDT) තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (14) දින විවෘත කිරීමට නියමිතය. 

වර්තමානයේ ශ්‍රී ලංකාව සෑම ක්ෂේත්‍රයකින්ම පාහේ සංවර්ධනය ලබමින් සිටින අතර ප්‍රමිතිය, විශ්වසනීයත්වය හා ඉහළ සුරක්ෂිතතාව සඳහා නිර්විනාශක පරීක්ෂණ (ද්‍රව්‍යවලට කිසිදු ආකාරයක හානි කිරීමක් සිදු නොකොට ඒවා පරීක්ෂාවට ලක්කිරීමේ ක්‍රමවේදයකි) අත්‍යාවශ්‍ය වී තිබේ. 

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිර්විනාශක පරීක්ෂණ ශිල්පීන් පුහුණු කිරීමෙන්ද, නිර්විනාශක පරීක්ෂණ සේවාවන් කර්මාන්ත ක්ෂේත්‍රය වෙත ලබාදීමෙන්ද ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරිය රටෙහි සංවර්ධන ක්‍රියාවලියට ඉහල දායකත්වයක් ලබාදෙන අතර එම ක්‍රියාවලිය විධිමත් කරමින් ඉහළ ගුණාත්මකභාවයකින් යුක්තව නිර්විනාශක පරීක්ෂණ සේවා මහජනතාවට ලබාදීමට නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය (NCNDT) පිහිටුවීමට පියවර ගෙන තිබේ. 

න්‍යෂ්ටික බලශක්තිය සාමකාමී භාවිතය සඳහා යොදාගැනීම, නියාමනය හා ඒ සම්බන්ධ සේවා සැපයීම සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ව්‍යවස්ථාපිත ආයතනයක් වන ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරිය විශිෂ්ට මෙහෙවරක යෙදී සිටී.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 13 October 2014 15:53