May 05, 2024

පසුපසට ගිය ටිපර් රියට අඹු සැමි යුවල යටවෙලා 

අපරීක්ෂාකාරී අන්දමින් මාර්ගයේ පසුපසට ධාවනය වූ ටිපර් රථයකට යට වීමෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදියක ගමන් ගත් අඹු සැමි යුවලක්   ඊයේ (12) සවස ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේද ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ජමාල්ඩීන් මොහොමඩ් (62 ) හා ෆාතිමා රශීනා ( 52) නමැති අඹු සැමි යුවලකි. ඔවුහු ඉබ්බාගමුව දෙස සිට  කුරුණෑගල දෙසට සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී  පන්නල, ගල්කන්ද නමැති ස්ථානයේදී මෙම අනතුරට ලක්ව තිබේ.

අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ මාර්ග සංවර්ධනය කීරීමෙහි නිරතව තිබු ටිපර් රථය මැටල් තොගයක් රැගෙන පසුපසට ධාවනය වෙමින් තිබියදී, ඒ මොහොතේ එම මාර්ගයේ කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබු යතුරු පැදිය ටිපර් රථයේ පසුපස ගැටී ඊට යටවූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

අනතුර හේතුවෙන් යතුරු පැදියේ ගමන් ගත යුවල ටිපර් රථයේ පසු පස රෝද දෙකට යට වීමෙන් බරපතල තුල ලබා සිටි බවත් ඔවුන් වහාම ගොකරැල්ල දිසා රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කලද ඒ වන විතත් ඔවුහු ජීවිතක්ෂයට පත් ව සිටි බව ගොකරැල්ල පොලිසිය සඳහන් කරයි.

ටිපර් රථයේ රියදුරාගේ නොසැලකිලිමත්  රිය ධාවනය මෙම අනතුරට  හේතුවී ඇති බවට මෙතෙක් සිදුකල මූලික පරීක්ෂණ වලදී  අනාවරණය වී  ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියට සැක පිට ටිපර් රථයේ රියදුරු වන තලාව කුම්බුක්ගහ වැව  ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන උක්කු බණ්ඩාගේ සුගත් බණ්ඩාර  නැමැත්තෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු අද (13) අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිත බවත් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදු කරන ගොකරැල්ල පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සුනිල් එස්. පැල්ලන්දෙණිය  

 

Rate this item
(0 votes)