May 05, 2024

යාල්දේවිය අද සිට 'උතුර - දකුණ' යා කරයි

දැනට පච්චිලෙයි පලෙයි දක්වා දිවෙන යාල් දේවී දුම්රිය සුබ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) සිට යාපනය දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතය.

අලුතින් ඉදිකෙරුණු යාපනය දුම්රිය ස්‌ථානය ද අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත වීමට නියමිතය. එය නවීන විදුලි සංඥා පද්ධතියකින් ද සමන්විත වේ.

උතුර දකුණ යා කරමින් යාපනය දක්වා මෙහි ගමන් මාර්ග පුළුල් කිරීමෙන් යාපනය අර්ධද්වීපයේ වැසියන්ට දිවයිනේ සෙසු ප්‍රදේශ කරා ඉතා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට පලෙයි දක්‌වා සිදු වන අතර වව්නියාව දක්‌වා පමණක්‌ ධාවනය වූ දුම්රිය යුද්ධය නිමවීමෙන් අනතුරු ව තාණ්‌ඩිකුලම, ඕමන්ත, කිලිනොච්චිය දක්‌වා ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකි විය.

උතුරු දුම්රිය මාර්ගය තැනීම ඉන්දීය 'ඉර්කෝන්' සමාගම විසින් සිදු කරනු ලබන අතර ඉදිරියේදී කන්කසන්තුරය දක්‌වා ම මෙම දුම්රිය ධාවනය කරවීම රජයේ අරමුණ වේ.

ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මේ කාර්යය සිදු කිරීමට නියමිතය.

Rate this item
(0 votes)