May 18, 2024

කසිප්පු අල්ලන්න ගිය පොලීස් නිලධාරීන් 'ගස් බැඳලා'

කසිප්පු විකුණන ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී ගම්වාසීන් විසින් පහර දී ගස් බැද  සිටි බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනෙකුව හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (12) රාත්‍රී ආරච්චිකට්ටුව - අඩිප්පල, ලියන්කැලේ ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇත.

සිද්ධියෙන් තුවාල ලබා ඇති හලාවත පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ පොලිස් පරීක්ෂක ප්‍රභාත් බන්දුල දිසානා සහ පොලිස් සැරයන් 31644 ප්‍රසන්න යන නිලධාරීන් දෙදෙනා මේ වන විට හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

පොලිස් නිලධාරීන්ගේ පහර කෑමට ලක්වූ බව කියන අඩිප්පල - වෙලන්කැලේ පදිංචි සෝමසුන්දරම් සහ ක්‍රිෂ්ණකුමාර යන දෙදෙනා මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

හලාවත පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ආරච්චිකට්ටුව - අඩිප්පල ප්‍රදේශයේ සිදු කරන කසිප්පු අලවි කරන ස්ථාන වැටලීමට ගොස් ඇති අතර එහිදී එක් නිවසක් තුළට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනා සහ එම නිවසේ හිමියන් අතර වචන හුවමාරුවක් ඇතිවී ඇත. පොලීසියෙන් යැයි පවසමින් නිවසට ඇතුළු වූ දෙදෙනා තමන්ට පහර දුන් බව රෝහල් ගත කර සිටින අඩිප්පල පදිංචිකරුවෝ දෙදෙනා කියති.

අවසානයේදී එම ස්ථානයට එක්වී ඇති ගම්වාසීන් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී ඔවුන්ව ගස් බැද ඇත.

පසුව මේ බව දැන ගෙන ඇති හලාවත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ගම්වැසියන් සමග සාකච්ඡා කර ගස් බැද සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාව මුදා ගෙන ඇත. පොලිස් නිලධාරීන් විසින් පහර දුන් බව කියන දෙදෙනාවද පොලීසිය විසින්ම කැදවාගෙන විත් මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

මේ සම්බන්ධයෙන් හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාලිය සිල්වා මහතා විසින් 12 වැනිදා රාත්‍රීයේම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ජුඩ් සමන්ත

 

Rate this item
(0 votes)