May 18, 2024

උගත් පාඩම් කොමිසමට විශේෂ කාර්යාංශයක් එයි 

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නංවාලීම පහසු කිරීම වෙනුවෙන් ප්‍රතිසන්ධානය සඳහා වන විශේෂ කාර්යාංශයක් ස්ථාපනය කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

ප්‍රතිසන්ධානය සඳහා වන මෙම විශේෂ කාර්යාංශය ජනාධිපති ලේකම්වරයාගේ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන අතර උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නංවාලීම පසුවිපරම් කිරීමෙහිලා කාර්යභාරය පහසුකරලීම අරමුණු කොටගෙන පවරනු ලබන කාර්යයන් එමගින් සපුරාලනු ඇත. 

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නංවාලීම රාජ්‍ය ආයතන 26කට පැවරී ඇත. නිර්දේශ ගණනාවක් ම රාජ්‍ය ආයතන දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඒකාබද්ධ ව ක්‍රියාත්මක කළ යුතු බැවින් ඒ සඳහා කාර්යක්ෂම සමායෝජනය කරලීමේ සහ සුපරීක්ෂණ කරලීමේ යාන්ත්‍රණයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ.

ජාතික ක්‍රියාකාරී සැලැස්මේ අන්තර්ගත උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන පරීක්ෂණ කොමිසමේ නිර්දේශ 144ක් ක්‍රියාවට නැංවීමට ඇත. ඉන් 45ක් ක්‍රියාත්මක කොට අවසන් ව ඇති අතර නිර්දේශ 89ක් ක්‍රියාත්මක වෙමින් පවතී. නිර්දේශ 10ක් ක්‍රියාත්මක කරලීම මුල් අදියර ගතව ඇත.

Rate this item
(0 votes)