May 18, 2024

රේස් ගිය බස් රථ රියදුරුට බෝතල් පහරක්

මහ මග ධාවනය වෙමින් තිබූ බස් රථයකට එල්ල වී ඇති වැලි බෝතල් ප්‍රහාරයකින් එම බස් රථයේ රියදුරු තුවාල ලබා පුත්තලම මහා රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (11) කල්පිටිය - පුත්තලම මාර්ගයේ කරඹ ප්‍රදේශයේද මෙම ප්‍රහාරය එල්ල වී ඇත. මෙලෙස තුවාල ලබා ඇත්තේ රණසිංහ ආරච්චිලාගේ රංජිත් කුමාරසිංහ නම් රියදුරෙකි.

තුවාල ලබා රෝහල් ගත කර ඇති අය කල්පිටියේ සිට පුත්තලම හරහා අක්කරයිපත්තුව දක්වා ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක රියදුරු ලෙස සේවය කරමින් සිට ඇත. එම බස් රථයට ඉදිරියෙන් කල්පිටියේ සිට පුත්තලම දක්වා වූ පුද්ගලික බස් රථයක්ද ධාවනය වෙමින් තිබී ඇත. මෙම බස් රථ දෙකම කල්පිටියේ සිට පුත්තලම දෙසට තරගයට ධාවනය වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පැවසී ය.

යතුරු පැදියකින් පැමිණි අයෙකු වැලි පුරවන ලද බෝතලයකින් ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයට පහරදී පලා ගොස් ඇත. මෙම ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට තමා පැදවූ බස් රථයට ඉදිරියෙන් ගමන්  කළ පුද්ගලික බස් රථයේ රියදුරු සම්බන්ධ බවට විශ්වාස කරන්නේ යැයි රෝහල් ගත කර සිටින බස් රථ රියදුරා පොලීසියට පවසා ඇත. ඒ අනුව එම බස් රථයේ රියදුරුව පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

ජුඩ් සමන්ත

 

Rate this item
(0 votes)