ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා රටේ සංවර්ධනය කෘෂිකර්මාන්තය මත පදනම් කොටගෙන ගොඩනැගිය යුතු මතයක සිටින බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මෙරට ශ්‍රම බලකායෙන් 45% ක් කෘෂිකර්මාන්තයේ රැඳී සිටින බව අවබෝධ කරගෙන තිබෙන ජනපතිවරයා ඉදිරි ජනපතිවරණයේදී එම ක්ෂේත්‍රයේ සහයෝගය ලබාගන්නා අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කළ හැකි යැයි යන මතයේ දැඩිව පිහිටා සිටින බවද ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
කෘෂි රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීම මෙන්ම කාබනික පොහොර ගොවි ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා ජනපතිවරයා මුල් වී කටයුතු කරන්නේ ඒ පදනම තුල සිට බවද පෙන්වා දෙන එම ආරංචි මාර්ග ගම සමග පිළිසඳරද කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ සංකල්පය මත ක්‍රියාත්මක කරන බවද අවධාරණය කරයි.
ජනපතිවරයා තමාගේ "ගම සමග පිළිසඳර" වැඩසටහන එක් පියවරක් ලෙස බදුල්ල හල්දුම්මුල්ලේ අක්කර 100ක ගම්මානයක ප්‍රගතිය සොයා බැලීමට ගිය සංචාරයේදී ගම්මිරිස්, කුරුඳු ආදී කෘෂි බෝග සඳහා ලැබෙන මිල ගණන් සහ ඊට තාක්ෂණයෙන් ලැබෙන සහයෝගය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කොට තිබේ.
තමා "ගම සමඟ පිළිසඳර" පැවැත්වූ සෑම වැඩ සටහනකම ප්‍රගතිය සමාලෝචනය කරන බවත් ඉදිරි වසර තුන අවසන් වන විට රටේ සංවර්ධනය බලන ලෙස එම අවස්ථාවට සහභාගී වූ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තේනුක විදානගමගේ, තිස්ස කුට්ටිආරච්චි, චාමර සම්පත් දසනායක සහ සුදර්ශන දෙනිපිටිය යන මහත්වරුන් අමතා ප්‍රකාශ කොට තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.