May 06, 2024

ජනපති සති දෙකෙන් පොරොන්දු වූ සාකච්ඡාව තවමත් නෑ - විකල්ප පිල අවුලක

ජනපතිවරයා පොරොන්දු වූ පරිදි ආණ්ඩුව තුළ සිටින 12 කණ්ඩායමට යලි සාකච්ඡාවක් ලබා නොදීම පිළිබඳව එම කණ්ඩායමේ පක්ෂ තුළ කණස්සල්ලක් ඇතිව තිබෙන බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මීට මාසයකට පමණ පෙර ආණ්ඩුව තුළ සිටින සන්ධානගත පක්ෂවලින් සමන්විත මෙම 12 කණ්ඩායම ජනපතිවරයා මුණගැසී සිය ප්‍රශ්න ඉදිරිපත් කළ අතර සති දෙකකට වතාවක් මෙම කණ්ඩායමට තමන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාවක් ලබාදෙන බවට ජනපතිවරයා පොරොන්දු වූ බව ඊට සහභාගි වූ පක්ෂයක නියෝජිතයකු ඒෂියන් මිරර් හට ප්‍රකාශ කරන ලදී.

මේ සම්බන්ධයෙන් ජනපතිවරයාගෙන් විමසීමේ වගකීම උදය ගම්මන්පිල අමාත්‍යවරයාට භාරකළ පවසන මෙම නියෝජිතයා ගම්මන්පිල අමාත්‍යවරයාද ඒ ගැන තාමත් පිළිතුරක් ලබා නොදුන් බවද තහවුරු කරයි.

ආණ්ඩුව එක්කෝ තමන්ව ගනන් නොගන්නා බවත් නැතිනම් තමන් ඉදිරිපත් කරන මහජන ප්‍රශ්න ආණ්ඩුවට වැදගත් නැතැයි සිතනවා වීමට හැකි බව ද එම නියෝජිතයා පෙන්වා දෙයි.

තමන් නියෝජනය කරන පක්ෂ දොලහේ කණ්ඩායම ජනපතිවරයා සමඟ පැවැත් වූ මුල් සාකච්ඡාව ඉතා ඵලදායි මෙන්ම සාර්ථක සාකච්ඡාවක් වූ බවද පෙන්වා දෙන මෙම නියෝජිතයා ඒ සාකච්ඡාව පදනම් කොටගෙන දොළහෙ කණ්ඩායම සහ මහා සංඝරත්නය අතර සාකච්ඡාවක් නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත් වූ බවද හෙළිදරව් කරයි.

අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්,පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මෙන්ම මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ද එම සාකච්ඡාවට සහභාගි වූ බව පෙන්වා දෙන එම නියෝජිතයා එහිදී ජනපතිවරයාගේ මීළඟ සාකච්ඡාව එන තුරු බලා නොසිට අවශ්‍ය ක්‍රියාමාර්ග වලට යා යුතු බවට මැදගොඩ අභයතිස්ස හිමියන් යෝජනා කළ බවද හෙළිදරව් කරයි.

එම යෝජනාව මෙම කණ්ඩායමේ නිල නොවන නායකයා ලෙස කටයුතු කරන විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පාර්ශවය අනුමත කළද ඊට සහභාගි වූ බහුතර පාර්ශවයන් සදහන් කොට තිබෙන්නේ ජනපතිවරයාගේ මීළඟ සාකච්ඡාව අවසන් වනතුරු කිසිදු අනවශ්‍ය ක්‍රියාමාර්ග වලට සම්බන්ධ නොවිය යුතු බවටය.

ඊට සියල්ලන්ගේම එකඟතාවය පළ වූ බව ද එම නියෝජිතයා පෙන්වා දෙයි.

දැන් තමන් බලාගෙන සිටින්නේ එම එම සාකච්ඡාව ලැබෙනතුරු බවද එම නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කරයි

Rate this item
(0 votes)
Last modified on Saturday, 24 July 2021 10:36