July 03, 2024

වීණා ජයකොඩි හැදුනෙත් 'දරුවන් හැදුවෙත්' තාත්තලා නැතිවයි

September 27, 2014
ඇය ප්‍රතිභාපූර්ණ නිළියකි. ඒ විශේෂණය ඇයගේ නම ඉදිරියෙන් සනිටුහන් කිරීම ගැන කිසිවකු විරුද්ධ නොවනු ඇත. සිය ආදරණීය මව රෝහිණී ජයකොඩි නම් වූ ප්‍රවීණ රංගන ශිල්පිනියගේ මැදිහත් වීම මත රංගන ජීවිතයට ඇතුළු වූ වීණා අමතක නොවන  චරිත රැසක් සිනමා සහ ටෙලිනාට්‍ය    ප්‍රේක්ෂකයින්ට දායාද කළ ශිල්පිනියකි.උප්පැන්න සහතිකයේ ඇයගේ නම සඳහන්ව තිබෙන්නේ වර්ජිනී සන්ධ්‍යා පීරිස් යනුවෙනි.
 
“මට මේ නම දැම්මේ අම්මා. ඒ කා‍ලේ සිනමාවේ ජනප්‍රිය නිළියක් වූ සන්ධ්‍යා කුමාරි මතක් වෙන්න තමයි සන්ධ්‍යා කියන නම දාල තියෙන්නෙ”
උප්පැන්න සහතිකයේ එසේ තිබුණත් පසු කලෙක සිය මවගේ මැදිහත් වීමෙන්ම වීණා ජයකොඩි ලෙසින් ඇය යළි උපන්නාය. ඒ “අප්සරා” චිත්‍රපටයත් සමගය. “ ඒ වෙනකොට  අම්මට වුවමනා වුණා ප්‍රේක්ෂකයන්ට මතක හිටින කෙටි නමක් දාන්න. කලා ක්‍ෂේත්‍රය සංකේතවත් වෙන්න “වීණා” කියන නම යොදලා අම්මාගේ වාසගම “ජයකොඩි” එකතු කළේ ඒ හින්දයි”
 
වීණා හැදුණේ වැඩුණේ කොළඹ පාමංකඩය. පුංචි කාලයේ පිරිමි දරුවෙකු ලෙස දඟකාරකමින් හැදුණු වීණාට නිළියක් වීමේ වුවමනාවක් තිබුණේම නැත. “හැබැයි අපේ අම්මා මම පුංචි කා‍ලේ මාව චිත්‍රපටයකට අරන් තියෙනවා. ඒ “අහංකාර ස්ත්‍රී” චිත්‍රපටයට. ඇගේම දරුවා ලෙස තමයි මාව ඒ චිත්‍රපටයට සම්බන්ධ කරගෙන තිබුණේ. එතකොට මට වයස මාස 3ක් විතර ඇතිලු”.
 
වීණා හැදී වැඩුණේ රුක්මණී දේවි, එඩි ජයමාන්න, ශාන්ති ‍ලේඛා, ක්ලැරිස් ද සිල්වා, සිරිමතී රසාදරී ආදී එකල සිනමාවේ සිටි ප්‍රවීණ රංගන ශිල්පින් ශිල්පිනියන් හා අධ්‍යක්ෂවරුන් මැදය. එහෙත් වීණාට නිළියක් වීමේ වුවමනාවක් තිබුණේම නැත.
“පුංචි කාලෙ අපේ ලෝකෙ වීරයා තමයි “ටාසන්”. එයා තමයි අපේ අයියාගේ වගේම අපේ එකම වීරයා. ඉතිං අපි අයියත් එක්ක එකතු වෙලා ගස්වල  ලණු ගැටගහලා ඒවායේ එල්ලිලා ගස්වලින් ගස්වලට මාරු වෙවි පුදුමාකාර දඟකාර ජීවිතයක් තමයි ගත කළේ. මාත් හැසිරුණේ හරියට කොල්ලෙක් වගේ තමයි.  ක්‍රිකට් ගහනවා. බයිසිකල් පදිනවා, ගස් නගිනවා. දුවනවා.........හරිම සුන්දර, නිදහස්          ළමා කාලයක් ගත කරන්න අපිට වාසනාව තිබුණු බව නම් කියන්නම ඕනා” වීණා එසේ පැවසුවේ ඒ රසබර අතීතය හා බැඳුණු බොහෝ මතක සටහන් සිහිපත් කරමිනි.
 
“මම ඉස්කෝලත් කීපයකටම ගියා. නුගේගොඩ අනුලා විද්‍යාලය, ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය, කොටහේන ගුඩ් ෂෙපර්ඩ් බාලිකා විද්‍යාලය වගේ ඉස්කෝල කීපයකටම ගියා. අන්තිමට ගියේ බම්බලපිටිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයටයි. ගුඩ් ෂෙපර්ඩ් කොන්වන්ට් එකේ දි ටික කාලයක් නේවාසිකවත් හිටියා. අන්තිමට දඟ වැඩ නිසා එතැනින් අම්මා මාව අයින් කළා.”
 
 පුංචි කාලයේ සිටම වීණා නර්තනයට බෙහෙවින් ඇළුම් කළාය. ඒ නිසාම ඇය වරක් “හැංගි හොරා” චිත්‍රපටයේ නර්තනයක් වෙනුවෙන්ද  පෙනී සිටියාය. ඒ “හංසරාණි” ගීතය වෙනුවෙන් රුද්‍රානි ලියනගේ ගුරුතුමිය තෝරාගෙන තිබූ නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසින්ය. ඉන් අනතුරුවද චිත්‍රපට කිහිපයක නර්තන අංගවලට සම්බන්ධ වීමේ අවස්ථාව ඇයට ලැබිණි.
“ඉස්කෝලෙදී නම් මම වේදිකා නාට්‍යවල රඟපෑවා. හැබැයි වැඩිපුර කළේ නර්තන අංග”. වීණා පවසයි. “නර්තනයට කොයිතරම් ආසද කියනවා නම් ඒ කා‍ලේ අපි කීප දෙනෙක් උදෙන්ම ඉස්කෝලෙට එනවා. ඇවිත් දුවන්නේ පී.ටී.රූම් එකට. ඊට පස්සේ අපේ කට්ටියේ කව්රු හරි ඒ රූම් එකේ තියෙන පියානෝව  ප්‍ලේ කරනවා. අපි ඒ තාලෙට නටනවා. සමහර අවස්ථාවල බයිලා ගීත පවා කියනවා. කොහොම හරි පාසල පටන් ගන්න සීනුව නාද වෙනකොට අපි දුවගෙන එන්නේ දාඩිය පෙරාගෙන. ඉස්කෝ‍ලේ තියෙන දවසට හැමදාම ඔය වගේ තමයි”.
 
මේ ආකාරයට නිදහසේ ගෙවී ගිය වීණාගේ ජීවිතය වෙනස් වන්නේ පාසල් කාලය නිම වීමත් සමගය.
“ඊට පස්සේ තමයි සරසවි සිනමා උළෙලකදී මට ගාමිණී ෆොන්සේකා මහතා හමු වුණේ. ඒ අම්මත් එක්ක ඒ උත්සවයට ගිය වෙලාවක”.  එදා රෝහිණී ජයකොඩි මහත්මිය සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාට සිය දියණිය හඳුන්වා දුන්නේ සිනමාවටත් වීණාව සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලමිනි.
“ඒ අනුව තමයි මට ‘අප්සරා’ චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඇත්තටම එදා මම හුඟක් සතුටු වුණා. ඒක වචනවලින් ප්‍රකාශ කරන්න බැරි තරම් සතුටක්"
 
පාසල් කාලයේ සිටම වීණාගේ ජීවිතයේ සිනමා වීරයා වූයේ ගාමිණීය. ඔහු රඟපෑ චිත්‍රපට බලන්නට වීණා බෙහෙවින් ආසා කළාය.
“ඉතිං මගේ වීරයා එක්ක මට රඟපාන්න ලැබෙන එක සතුටක් ‍නෙවෙයිද.මිස්ට ෆොන්සේකා පුදුමාකාර ගති පැවතුම් තිබුණු, පුදුමාකාර දැනුම් සම්භාරයක් තිබුණු පුද්ගලයෙක්. අවාසනාවකට ඒ දැනුමින් අපේ රටේ උදවිය ප්‍රයෝජන ගත්තේ නැහැ කියලයි මම හිතන්නෙ. දැන් බලන්න ඒ වගේම දැනුමක් තිබෙන තවත් කලාකරුවෙක් තමයි ඩී.බි. නිහාල්සිංහ. එතුමත් අද ඔය පැත්තකට දාලා තියෙන්නේ. වැඩ බැරි අය වැඩ. පුළුවන් අය පැත්තක. මේක තමයි අපේ රටේ අවාසනාව”.
 
අප්සරා චිත්‍රපටයෙන් රංගන ජීවිතය ඇරඹූ වීණාට ගාමිණී ෆොන්සේකාම නිර්මාණය කළ “රෑ මනමාලී” චිත්‍රපටයෙන් හොඳම නිළි සම්මානය ලැබුණාය. ඇය ඒ පිළිබඳවත් මේ කතාබහේදී මතක් කළාය.  
“තරුණ මට අවුරුදු 60ක ගැහැනියකගේ චරිතයක් තමයි රඟපාන්න තිබුණේ. මම එදා කිව්වා මේක මට කරන්න බැරි වෙයි කියලා. ඒත් මිස්ට ෆොන්සේකා කිව්වා. ‘නැහැ ඔයා මේකේ රඟපානවා විතරක් ‍නෙවෙයි, සම්මානයක් පවා ලබා ගනිවී කියලා. ඔයා හොඳම නිළිය වෙන බව කිව්වා. ඒ වගේම මට ඒ සම්මානය ලැබුණා”.
 
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට රැසක වීණා රඟපෑවාය. ඒ හැම චරිතයක්ම ප්‍රේක්ෂක මතකයේ රැඳෙන ආකාරයෙන් රඟපාන්නට ඇය සමත් වූවාය. දමිළ භාෂාව පවා මනාව හසුරවමින්  වීණා ඇතැම් චරිතවලට සාර්ථකව සාධාරණය ඉටු කළාය.
සිංහල, ඉංග්‍රීසි හා දමිළ භාෂා ත්‍රිත්වය ගැනම හසළ දැනුමක් ඇති වීණා මේ හැකියාව ප්‍රයෝජනයට ගෙන චිත්‍රපට, ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය රැසක ප්‍රේක්ෂක අවධානය දිනාගත් චරිත රැසක් නිරූපණය කළාය.
“මම මුලින්ම රඟපෑ වේදිකා නාට්‍යය තමයි “සිවම්මා ධනපාල”. එහි මම රඟපෑවේ ඩේසි ඇන්ටි (රුක්මණී දේවිය)එක්ක. ඒකත් මගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක්”.
 
ජයග්‍රාහී කඩඉම් රැසක් පසුකළ වීණාගේ ජීවිතයට ඇතැම් අවස්ථාවලදී පරාජය, පසුතැවිල්ල, සිත් වේදනා නොපැමිණියාම නොවේ. ඇය ඒ ගැනත් කතා කරන්නට මැලි නොවූවාය.
“මම අම්මාගේ ආශිර්වාදය මැද තරුණ කාලෙම විවාහ වුණා. ඒත් ඒ විවාහය සාර්ථක වුණේ නැහැ. අන්තිමේ මට ඔහුගෙන් වෙන් වෙන්න සිද්ධ වුණා. අපේ විවාහයෙන් දරුවන් තුන් දෙනෙක් හිටියා.  මම දරුවෝ තුන්දෙනා හදාගෙන ජීවත් වෙන්න ලොකු උත්සාහයක් ගත්තා. හුඟක් කැප කිරීම් කළා.
“මට අක්කා කෙනෙක්, අයියා කෙනෙක් වගේම මල්ලි කෙනෙක් ඉන්නවා. අපි තුන්දෙනා හැදුනෙත් තාත්තා නැතිව. මට තාත්තා ගැන ‍පොඩ්ඩක්වත් මතක නැහැ. ඉතිං ඒ කා‍ලේ අපි තුන් දෙනාව හදන්න අම්මත් විශාල කැප කිරීමක් කළා. ඇය අපිව හදන්න ගත්තු මහන්සිය, ඇය කරපු කැප කිරීම් මම දැක්කා. ඒ ගැන මට හොඳ අවබෝධයක් තිබුණා.
“කොහොම හරි මම විවාහ වුණාට පස්සේ මටත් පුතාලා දෙන්නෙක් හා දුවෙක් ලැබුණා. ස්වාමි පුරුෂයාගෙන් වෙන් වුණාට පස්සෙ මමත් මට හැකි උපරිම ශක්තිය යොදවලා දරුවො තුන්දෙනාව  හැදුවා. අද ඔවුන් හොඳ ස්ථාවරයක ඉන්නවා. ඇත්තටම අද ඔවුන් ගැන මට හරි සතුටුයි.
“මගේ එක පුතෙක් “සිසිල ගිනි ගනී” චිත්‍රපටයේ මා එක්ක රඟපෑවා. දුවත් ටිකක් විතර කලාවට එකතු වුණා. ඒත් ඔවුන් කැමති නැහැ ඒ ඔස්සේ ඉදිරියට යන්න. අද මේ දරුවෝ විවාහ වෙලා දරු මල්ලෝ හදාගෙන හොඳින් ඉන්නවා.”
 
වීණා කලක් ඉන්දියාවටද ගොස් සිටියාය. එකල ඇය ස්වාභාවික ක්‍රමවලින් රූපලාවන්‍ය කටයුතු කරන ආකාරය ඉගෙන ගත්තාය. ඉන් පසුව ලංකාවට පැමිණි ඇය රූපලාවන්‍යාගාරයක් ඇරඹුවාය. අද සිය දියණිය සමගින්ම විණා මේ රූපලාවන්‍යාගාරයද පවත්වාගෙන යන්නීය.
“මම එක කාලයක් එක් ආයතනයක  රැකියාවක් කළා. ඊට පස්සේ දිගටම රඟපාමින්, මගේ රූපලාවන්‍යාගාරයේ කටයුතුත් බලා කියාගනිමින් කාලය ගත කළා. මම මගේ ආර්ථික ශක්තිය හදාගත්තේ එහෙමයි. මම කාටවත් ණය නැහැ. බැංකු ලෝන් එකක්වත් අරන් නැහැ. මගේ ජීවිතයේ මොන දේ නැති වුණත් ඒ හැම දෙයක්ම අභියෝගයක් හැටියට බාර අරගෙන ජීවිතය ජය ගන්න හැකිවුණේ මම දෙවියන් වහන්සේ ඉහළින්ම විශ්වාස කරන හින්දා වෙන්න ඇති කියලා දැන් මට හිතෙනවා”.
 
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ වියෝව වීණාගේ ජීවිතයේ වඩාත්ම දුක්වූ අවස්ථාවලින් එකක් බව ඇය පවසයි. ඇය අදටත් ඒ ගැන සිහිපත් කරන්නේ දුක්බරවය
.“මිස්ට ෆොන්සේකා මිය යන්න ආසන්න කාලයේ අපට වැඩිපුර හමුවන්න ලැබුණේ නැහැ. නමුත් එක දවසක් මිස්ට ෆොන්සේකා අපේ ගෙදරට කතා කළා. එදා ඇත්තටම මම ගෙදර හිටියෙ නැහැ. මගේ දුව තමයි බොහෝ වේලාවක් ඔහු සමග කතා බහ කරමින් ඉඳලා තිබුණේ”.
 
ඒ අතර වාරයේ වීණා නිවසට ආවාය. ඒ ආ සැනින්ම ඇය දුරකතනය අතට ගත්තාය.
“වීණා.... දරුවෝ එක්ක හෙට අපේ ගෙදර එන්න. කෑම ටිකක් කාල යන්න බලාගෙනම එන්න”. ගාමිණී වීණාට කීවේය.
 
ඇය ඔහුගේ ආරාධනය පිළිගත්තාය.නමුත් පසුදා උදේම, විදෙස් ගතව සිටි වීණාගේ  බාල සොයුරා හදිසියේ වීණාගේ නිවසට ආවේය. කෙසේ හෝ මේ හේතුව නිසා වීණාට දරුවන්ද සමග ජා ඇල පිහිටි ගාමිණීගේ නිවසට යාමට නොහැකි විය.
“ඊට පසුවදා අපිට ආරංචි වුණා ඔහු මිය ගියා කියලා. ඇත්තටම එදා මම හුඟක් ඇඬුවා. ඒ වගේ උදාර මනුස්සයෙකුගේ අවසාන ඉල්ලීමට මට ප්‍රතිචාර දක්වන්න බැරි වුණානේද කියලා විශාල පසුතැවිල්ලක් ඇති වුණා. ඒක කවදාවත් මට අමතක නොවෙන සිද්ධියක්.”
ඇය පැවසුවේ තවමත් වේදනාව සැඟවුණු ස්වරයෙන් යුතුවය.
Rate this item
(0 votes)