May 03, 2024

පාස්කු සිද්ධියට පොලීසිය නඩු පැවරීම නොකළ හේතුව එළියට! චෝදනා ගොනු කිරීම ලඟදීම

පාස්කු සිද්ධියට පොලීසිය මෙතෙක් නඩු පැවරීම නොකර සිටියේ කොමිෂන් සභා වාර්තාව පැමිණෙන තුරු බවත් කරුණු සියල්ල අරගෙන නුදුරේ දීම අවශ්‍ය චෝදනා ගොනුකිරීම නීතිපතිවරයා විසින් කරනු ලබන බවත් පාස්කු කොමිසමේ වාර්තාව අධීක්ෂණයට පත්කළ කැබිනට් අනුකමිටුවේ සාමාජික අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. 

පාස්කු කොමිෂන් සභා අවසන් වාර්තාව සම්බන්ධයෙන් පත් කළ ඇමති චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනු කමිටුව හමුවට ඊයේ (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කැඳවා තිබේ.

ඒ වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඔවුන් රැස්ව ඇත.

එහිදී අදහස් දැක්වු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පළ කළේය.

“චමල් රාජපක්ෂ ඇමති තුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන කැබිනට් අනු කමිටුව ඉදිරියට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ අධ්‍යක්ෂතුමන් හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර අධ්‍යක්ෂතුමන් කැඳෙව්වා. කොමිෂන් වාර්තාවේ තියෙන නිර්දේශ ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳව මේ අය සමග සාකච්ඡා කිරීමක් කළා. රජයේ භාරයේ මේ මෙහොතේ 291 දෙනෙක් ත්‍රස්තවාදී සැකකරුවන් ඉන්නවා. ඒ නිසා විශාල විමර්ශනයක් පොලීසිය විසින් සිදුකරලා අවශ්‍ය සාක්ෂි සොයාගෙන තියෙන්නේ. පොලීසිය මෙතෙක් නඩු පැවරීම නොකර සිටියේ, කොමිෂන් සභා වාර්තාව පැමිණෙන තුරු. කරුණු සියල්ල අරගෙන නුදුරේ දීම අවශ්‍ය චෝදනා ගොනුකිරීම නීතිපතිවරයා විසින් කරනු ලබනවා.“ 

Rate this item
(0 votes)