July 03, 2024

සුනිල් ආරියරත්න ආයෙත් සිංදු ලියන්නේ නෑ (වීඩීයෝ)

සුනිල් ආරියරත්නයන් වඩාත් ප්‍රකටව සිටින්නේ ගීත රචකයකු ලෙසයි. මේ වනවිට ඔහු අතින් බොහෝ ගීත රචනා වී තිබෙනවා. නමුත් මෑතකාලීනව ඔහු විසින් රචනා කළ ගීත වැඩිපුර අසන්නට ලැබෙන්නේ නැහැ. 
 
ඊට හේතුව මොකක්ද ?  
පැහැදිලිවම මම දැන් ගීත ලිවීමෙන් ඉවත්වෙලයි ඉන්නේ. හේතුව තමයි, ගීත කලාව ගැන කලකිරීමක් මා තුළ තිබිම. තවදුරටත් ගීත ලිවීමේ තේරුමක් නැති බව මම තේරුම්ගෙන තියෙනවා. ඒ නිසා මම ඒ කාලය පර්යේෂණාත්මක ග්‍රන්ථ රචනා කිරීම ආදී කටයුතුවලට යොදවනවා.
 
ගීත කලාව ගැන කලකිරීමක් ඇතිවීමට හේතුව මොකක්ද ?
අද මම ගීත ලිව්වා කියලා ඒවා ගයන්න ගායක ගායිකාවොත් නෑ, ඒවා අහන්න ශ්‍රාවකයොත් නෑ. ඒ නිසා ගීත ලියලා වැඩක් නැහැ. 
 
ඔබේ ගීත ගායනා කිරීමට ගායක ගායිකාවන් නැති බව කියන්නේ මොන වගේ හේතුවක් නිසාද ?
මට ඒක ඔප්පු කරන්න පුළුවන්. පණ්ඩිත් අමරදේවයන්ගේ සිට, එදා ප්‍රබුද්ධ මට්ටමේ සිටි ගායක ගායිකාවෝ කවුරුවත් අද අලුතෙන් ගීත ගායනා කරන්නේ නැහැ. ඒ අයට අලුතෙන් ගීත නිර්මාණය කරලා වැඩක් නැහැ. මොකද, ඒ ගීත අපේ රටේ විද්්‍යුත් නාලිකාවලට අවශ්‍ය නැහැ. ඒවා ඒ නාලිකාවල ප්‍රධානීන්ට සහ ගී තෝරන අයට ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් ඒවා ප්‍රචාරය කරන්නේ නැහැ. 
 
ඔබ ඒ සඳහන් කළේ ප්‍රබුද්ධ ගායික ගායිකාවන් ගැනයි. නමුත් බොහෝ තරුණ ගායක ගායිකාවන්ගේ ගීත ගුවන්විදුලි නාලිකා වලින් ප්‍රචාරය වෙනවා. ඔවුන් වෙනුවෙන් ගීත ලියන්න ඔබ අකමැතිද ? 
තරුණ ගායන ශිල්පීන් සහ ශිල්පිනියන්ට අපි ලියන ගීත වටහා ගන්නවත් බැහැ. තරුණ තනු නිර්මාණකරුවන්ට ඒවාට හරියටම තනු නිර්මාණය කරන්නත් බැහැ. අනෙක ඒ ඔවුන්ගේ ගීතවලට මුදල් ආයෝජනය කරන අය එබඳු ගීතවලට මුදල් යොදවන්න කැමතිත් නැහැ. 
 
ඔබ හිතන විදියට ගීත කලාව මෙතරම් පරිහානියකට ලක්වීමට වගකිවයුත්තේ කවුද ?
විද්්‍යුත් නාලිකා සියල්ලම පාහේ ඊට වගකිව යුතුයි. ඒ අතරේ යම් යම් නාලිකා ප්‍රශස්ත ගීත ප්‍රචාරය කිරීමට උත්සාහ දරනවා. ඒත් ඔවුන්ට තනිවම ඒ ගමන යන්න බැහැ. ඒ වේරම්බ වාතයෙන් ගලාඑන කුණුකන්දල්වලට එරෙහිව දරා සිටීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. ඒ නිසා ඔවුනුත් ඊට හසුවී ගසාගෙන යනවා. මොකද සියලු නාලිකා එක් පැත්තක් ගෙන සිටියදි නාලිකා එකකට දෙකකට විතරක් උඩුගම් බලා යන්න බැහැ. 
 
ඔබ ඔය කියන පරිහානිය ආරම්භ වුණේ මොන කාලයේදීද ?
පැහැදිලිවම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තමයි ප්‍රබුද්ධ ශ්‍රාවකයන් සඳහා සංගීතයක් ඇති කළේ. පෞද්ගලික නාලිකා ආරම්භ වීමත් සමගයි මාධ්‍ය මුදලාලිකරණයට ලක්වුණේ. ඒ මුදලාලිලාට අවශ්‍ය මුදල් පමණයි. සාහිත්‍යමය රසයන් තිබෙන ගීත, ප්‍රබුද්ධ ශ්‍රාවකයන්ගේ රුචිය වැනි දේවල් ඔවුන්ට වැදගත් නැහැ. මේ නිසා අද මම ලියන ගීත ගායන නොකර තමන්ගේ ලිපි ගොනුවලට තැන්පත් කරගෙන ඉන්නයි පැරණි ගායක ගායිකාවන්ට සිදුවෙලා තියෙන්නේ. 
 
ඔබ ඔය සඳහන් කළ ආකාරයේ නාලිකාවල ප්‍රචාරයවන ගීතවලට සවන්දෙනවාද ?
මම අදටත් ඒවායේ ප්‍රචාරය වන ගීත අහනවා. හැබැයි මම ඒවා විඳින්නේ නැහැ. එහිදි මම නිරීක්ෂකයෙක් පමණයි. නව රැල්ල කුමක්ද ? පදමාලාවල තත්ත්වය කුමක්ද ? ඒ සංගීතය කෙබඳුද කියලා තමයි මම නිරීක්ෂණය කරන්නේ. 
 
නිරීක්ෂකයකු විදිහට ඔබ තරුණ පරපුරේ සංගීතඥයන්ගේ නිර්මාණ දකින්නේ මොන විදිහටද ?
අද තියෙන්නේ අනුකාරක ගීත කලාවක්. එය මෙරට ගීත කලාවට දරුණු ව්‍යසනයක් බවට පත්වෙලා. ජෝතිලා, මිල්ටන්ලත් අනුකාරක ගීත ගායනා කළා. ඒ වගේම ඔවුන්ගේ ගීතවලට තනු නිර්මාණය කරපු අයත් අනුකාරක ගීත නිර්මාණය කළා. 
හැබැයි ඔවුන් හොරු ‍නෙවෙයි. එදා යම් හින්දි චිත්‍රපටයක් ලංකාවේ ප්‍රදර්ශනය වනවිට ඒවායේ ගීත ඇසුරෙන් ඔවුන් සිංහල ගීත නිර්මාණය කළා. ඒක හොරකමක් ‍නෙවෙයි. කවුරුත් දන්නවා ඒ ගීත නිර්මාණය කරලා තියෙන්නේ ඒ චිත්‍රපට ගීත ඇසුරෙන් බව. නමුත් අද සංගීතඥයෝ අන්තර්ජාලය හරහා හින්දි, දෙමළ, ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක ගීතවල තනු හොරකම් කරගෙන තමන්ගේ ගීත විදියට එළිදක්වනවා. ඒක අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට ලොකු ව්‍යසනයක්. ඒ වගේම එය ඉතා කනගාටුදායක තත්ත්වයක්. 
 
පද රචකයන්ගේ සහ ගායක ගායිකාවන්ගේ තත්ත්වය මොන වගේද ?
කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ කලාතුරකින් තමයි සාහිත්‍යමය ගුණයකින් යුතු පදමාලාවක් අසන්නට ලැබෙන්නේ. ශ්‍රැතියට අනුව ගායනා කළ හැකි දක්ෂ ගායක ගායිකාවන් පිරිසක් අද තරුණ පරපුර අතරේ ඉන්නවා. හැබැයි ඔවුන් සිංහල භාෂාවට වඩා, ඉංග්‍රීසි භාෂාවට හුරු විදිහටයි ගීත ගායනයේදී වචන උච්චාරණය කරන්නේ. ඒක හරියට සුදු ජාතිකයන් සිංහල භාෂාව කතා කරන ආකාරය වගෙයි. 
 
ඔබේ ගීත සඳහා අද ශ්‍රාවකයනුත් නැති බව ඔබ පැවසුවා. ඇයි ඔබ එහෙමකියන්නේ ?
කිසිදු නාලිකාවකින් හොඳ මට්ටමේ ගීත ප්‍රචාරය නොවෙනවා නම් ප්‍රබුද්ධ ශ්‍රාවක පිරිසක් කොහොමද රැඳෙන්නේ? ඔවුන්ට විශාල අසාධාරණයක් වෙනවා. ඔවුන්ට රසවිඳිය හැකි ගීත නාලිකාවලින් ප්‍රචාරය නොවන නිසා ප්‍රබුද්ධ ගීත ප්‍රිය කරන ශ්‍රාවකයන් මුදල් වැය කරමින් සංගීත ප්‍රසංගවලට සහභාගිවෙලා ප්‍රබුද්ධ ගීත රසවිඳිනවා. ඒවායේ ප්‍රවේශ පත්‍රවල මිල ගණන් ඉහළයි. ඒ ශ්‍රාවකයන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න ඕනෑකමක් විද්‍යුත් මාධ්‍යවලට නැහැ. 
 
ඔය කියන හේතූන් නිසා ඔබේ කිසිදු අලුත් ගීතයක් ඉදිරියේදී අසන්නට නොලැබේවිද ?
මම මැරෙන තුරුම මගේ අතින් නැවත ගීතයක් නොලියැවෙයි කියලා කියන්න බැහැ. මගේ කුස පබා චිත්‍රපටය වෙනුවෙන් මම ගීත ලිව්වා. ඒ වගේම හිතමිතුරන් වෙනුවෙන් මෑතකදී ගීත ලියන්න සිදුවුණ අවස්ථා තියෙනවා. ඉදිරියේදී සමහරවිට මගේ චිත්‍රපටයකට මම ගීත ලියාවි. නමුත් ඉදිරියට ගීත රචකයකු ලෙස රැඳෙන්න වුවමනාවක් මට නැහැ. 
 
ඔබ වැනි ගේය පද රචකයන් ගීත කලාව කෙරෙහි කලකිරී නව නිර්මාණ බිහි කිරීමෙන් වැළකී සිටීම නිසා ගීත කලාව තවදුරටත් පරිහානියට ලක්වීමයි සිදුවන්නේ. ගීත රචනයෙන් ඉවත්නොවී නැවතත් මෙරට යහපත් ගීත කලාවක් ඇති කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා පෙරමුණ ගැනීමට බැරි ඇයි ?
එවැනි දෙයක් අවශ්‍ය නැහැ. මෙරට ගීත කලාව මට විතරක් අයිති දෙයක් ‍නෙවෙයි. මම එහි එක් අයෙක් විතරයි. මම ගීත නොලිව්වාට තවත් හොඳ ගීත ලියන අය ඕනෑ තරම් අපේ රටේ ඉන්නවා. 
 
ඔබ මීට මසකට පමණ ඉහතදී විරිදු කලාව සම්බන්ධයෙන් “විරුද සහ විරිඳු” නමින් පර්යේෂණාත්මක ග්‍රන්ථයක් එළිදැක්වූවා. මෙවැනි සමයක විරිදු සම්බන්ධයෙන් කෘතියක් එළිදැක්වීමෙන් පලක්වේවිද ?
විරිදු කලාව මේ වනවිට ලංකාවේ ජනප්‍රිය කලාවක් ‍නෙවෙයි. නමුත්, ඒක ජනප්‍රිය ගීත වර්ගයක්ද නැද්ද කියන කාරණය ඒ ග්‍රන්ථය ලිවීමේදී මට වැදගත් වුණේ නැහැ. විරිදු කලාව කියන්නේ මොකක්ද යනවග ගැන පර්යේෂණාත්මක ග්‍රන්ථයක් රචනා කිරීම පමණයි මට අවශ්‍ය වූයේ. හැබැයි, මාසයකටත් වඩා අඩු කාලයකදී එම කෘතියේ පළමු මුද්‍රණය විකිණී අවසන් වුණා. ශාස්ත්‍රීය ග්‍රන්ථයකට එවැනි අලෙවියක් තිබිම පුදුම සහගතයි. 
 
යශෝධරා චරිතය ඇසුරෙන් සිනමා පටයක් නිර්මාණය කිරීමේ සූදානමක් ඔබ තුළ තිබුණා. ඒ අදහස ඔබ අත්හැර දැමුවාද ?
විරිදු කලාව පිළිබඳ පර්යේෂක ග්‍රන්ථය එළිදැක්වීමෙන් පසුව මම මේ වනවිට අලුත් චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා සූදානමින් සිටිනවා. හැබැයි ඒ යශෝධරා චරිතය පිළිබඳව නොවෙයි. ඒ ගැන තොරතුරු ඉදිරියේදී දැනගන්නට හැකිවේවි.
Rate this item
(0 votes)
Last modified on Friday, 26 September 2014 10:18