මීට අවුරුදු 14කට පෙර පැවැති මැතිවරණයේදී ලැබූ දැවැන්ත පරාජයෙන් පසුව තමා නැවතත් නැඟී සිට අගමැති ධුරය දක්වා පැමිණියේ ක්‍රිකට් ජීවිතයේදී ලැබූ අත්දැකීම් මතින් බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසයි.
''අර්ජුන, මේ පණිවිඩය ඔබට...''යි පවසමින් මේ අවස්ථාවට සහභාගී වී සිටි අර්ජුන රණතුංග මහතාට මතක් කරමින් සිය කතාව කල ඉම්රාන් ඛාන් මහතා,
''ආරම්භක අවධියේදී මම අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙමෙයි. පළමු ටෙස්ට් තරගයට මුහුණ දුන්නාට පසුව මාව කණ්ඩායමෙන් ඉවත් කළා. අවුරුදු තුනක් මම කණ්ඩායමට ගත්තේ නැහැ. පළමු තරගයට මුහුණ දීමෙන් පසුව කණ්ඩායමෙන් ඉවත් කළ ක්‍රීඩකයින් හැමෝ ම වගේ නැවත කණ්ඩායමට ගත්තේ නැහැ. බොහෝ දෙනෙක් හිතුවේ මටත් එවැනි ම ඉරණමක් අත් වේවි කියලා. නමුත් මම පසුබැස්සේ නැහැ. මම පළමුව මගේ අඩුපාඩු විශ්ලේෂණය කළා. අනිත් අයට සාපේක්ෂව මගේ දුර්වලතා හදුනා ගත්තා. දෙවැනුව මම එක දිගටම වැඩ කළා. පුහුණුවීම් කළා. මම කිසිම අවස්ථාවක නැවතුණේ නැහැ. ඒ වගේ ම දේශපාලනයට පැමිණි විටත් මම අභියෝගවලට බිය වුණේ නැහැ.
මගේ දේශපාලන ජීවිතයේ ආරම්භයත් පළමු වැනි ටෙස්ට් තරගය වගේ. මගේ දේශපාලන පක්ෂය ලබා ගත්තේ එක අසුනක් පමණයි. දැඩි පසුබෑමක් ලැබුවා. බොහෝ දෙනෙකු සිතුවේ මම දේශපාලනික වශයෙන් අවසන් වුණා කියලා. නමුත් මම වසරක්, දෙවසරක්, තුන්වසරක් වශයෙන් අවුරුදු දාහතරක් ම දේශපාලනයේ නිරත වුණා. දේශපාලනික පසුබිමක් නැතිව, ඉතා ම සුළු පිරිසක් සහිතව මම දේශපාලනය කරලා අගමැති තනතුරට පැමිණියා. එතැනදී ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ පාඩම් දේශපාලනය ජීවිතය හැඩ ගස්වා ගන්න මට උපකාරී වුණා. පරාජිත අවස්ථාවලදී දිය හැකි එකම පාඩම නැවත නැගිටින්න. නැවත නැගිටින්න..''
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ආරාධනාවෙන් ඔහු වෙනුවෙන් පිළිගැන්වූ විශේෂ භෝජන සංග්‍රහයට එක් වෙමින් ඉම්රාන් ඛාන් මහතා මෙම අදහස් දක්වනු ලැබිය.
එම අවස්ථාවට අර්ජුන රණතුංග, සුසන්තිකා ජයසිංහ, සනත් ජයසූරිය වැනි ක්‍රීඩකයින් ද සහභාගි වී සිටියහ.