April 30, 2024

ජීවිත දෙකක් බේරාගත් මානුෂිය මෙහෙයුම (VIDEO)

තලංගම – අංගොඩ මාර්ගයේ හීනටිකුඹුර හන්දිය අසල නිවසක පස්බැම්මකට යටවී සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ දිවි ගලවා ගැනීමට ඊයේ (17) පෙරවරුවේ ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් සමත්විය. ඒ පැයකට ආසන්න කාලයක් සිදුකළ මෙහෙයුමකින් අනතුරුවය.

තලංගම – අංගොඩ මාර්ගයේ හීනටිකුඹුර හන්දිය අසල නිවසක පස්බැම්මක් ඛාදනයවීම වැළැක්වීම සඳහා ඊයේ පෙරවරුවේ පෙදරේරුවන් දෙදෙනෙක් එහි ගල්බැම්මක් ඉදිකරමින් සිට තිබුණි. නමුත් අනපේක්ෂිත අයුරින් එම පස්කන්ද කඩාවැටී ඇති අතර ගල් බැම්ම ඉදිකරමින් සිටි පෙදරේරුවන් දෙදෙනා පස්කන්දට යටවී තිබුණි.

විශාල හඬක් නගමින් පස්බැම්ම පෙරළි ගිය සැනින් ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් අනතුර සම්බන්ධයෙන් තලංගම පොලීසියට සහ යුද හමුදාවට දැනුම් දී තිබූණි. යුද හමුදා කණ්ඩායමක් වහාම සිද්ධිය සිදුවූ ස්ථානයට පැමිණි අතර ඔවුන් ප්‍රදේශවාසීන් හා එක්ව පුද්ගලයින් දෙදෙනා බේරාගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.

පස්බැම්මට යටවී සිටි එක් පුද්ගලයෙක් බේරාගෙන ගිලන් රථයකට භාරදීමට කඩිනමින් කටයුතු කර තිබුණත් සිරවී සිටි අනෙක් පුද්ගලයා බේරා ගැනීම සඳහා ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. ඒ හේතුවෙන් ඔවුන් පස් අතර සිරවී සිටි පුද්ගලයාට නලයක් මාර්ගයෙන් ඔක්සිජන් සැපයීම සිදුකරමින් මෙම ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කර තිබුණි. ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි උත්සහයෙන් අනතුරුව බේරාගත් එම පුද්ගලයා ද අනතුරුව ගිලන් රථයකින් වහාම කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට පියවර ගැණුනි.

Rate this item
(0 votes)