April 30, 2024

“දරුවන් සෞඛ්‍යාරක්ෂිතව පාසල් වෙත කැඳවීම වෙනුවෙන් සියලුම පාර්ශව වගකීමෙන් කටයුතු කළ යුතුයි” අධ්‍යාපන ලේකම්

නව පාසල් වාරය සදහා දරුවන් පාසලට සෞඛ්‍යාරක්ෂිත ව රැගෙන ඒම වෙනුවෙන් දෙමව්පියන් ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු සියලු පාර්ශවකරුවන් දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා සෞඛ්‍ය බලධාරීන් සමඟ අද (6) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන ලේකම්වරයා මේ අදහස් පළ කළේය.

2021 නව පාසල් වාරය සඳහා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය වන්නේ, බස්නාහිර පළාතේ  සහ  හුදකලා කළ ප්‍රදේශයන්හි පාසල්  හැර අනෙකුත් සියලු පාසල් ජනවාරි 11 වන දා සිට 2-13 ශ්‍රේණි සඳහා විවෘත කිරීමටයි එමෙන්ම, සෞඛ්‍ය අංශයන්හි නිර්දේශ ලබා ගනිමින්  ජනවාරි මස 25 වන දින සිට හුදකලා  කළ ප්‍රදේශවල හැර, බස්නාහිර පළාතේ සෙසු පාසල්වල 11වන ශ්‍රේණිය ආරම්භ කිරීමට ද කටයුතු සැලසුම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයන්හි  පූර්ණ සහයෝගය ලබා ගනිමින්, සියලු පලාත් කලාප, කොට්ඨාස අධ්‍යාපන අංශ මෙන් ම, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමව්පියන් සහ සිසුන් මෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවල සහාය ද පාසල් සංවර්ධන සමිතිවල සහාය ද ලබා ගනිමින් ක්‍රියාත්මක විය යුතු ආකාරය අධ්‍යාපන අමාත්‍යාංශය  විසින් මාධ්‍ය මඟින් මෙන් ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා  ද දැනුවත් කර තිබේ.

බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශ හැර  සෙසු පාසල් පසු ගිය වසරේ තුන්වන වාරය සඳහා විවෘත කළ අවස්ථාවේ දී ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ  98%ක ප්‍රතිශතයක් සේවයට වාර්තා කළ බව ද, සිසුන්ගේ පැමිණීම ක්‍රමිකව ඉහළ අගයක් ගත් බව ද අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දුන් අතර, නව පාසල් වාරය ආරම්භයේ දී සෞඛ්‍යාරක්ෂාව ගැන පූර්ණ විශ්වාසයෙන් යුතු ව  දරුවන් පාසල් එවීමට දෙමාපියන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසී ය.

කොවිඩ් වසංගතය හමුවේ දැනට පවතින නව සාමාන්‍ය තත්වය සැලකිල්ලට ගනිමින්, දරුවන්ගේ අනිවාර්ය අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර දීමේ ව්‍යවස්ථාපිත වගකීම ද අවබෝධකර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ආරම්භ කිරීමේ තීරණය, අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් සහිතව, සෞඛ්‍ය, ආරක්ෂක, ප්‍රවාහන, මාධ්‍ය ඇතුළු සියලු පාර්ශවවල  පූර්ණ සහයෝගය ද ලබා ගනිමින් ක්‍රියාවට නංවන බව ද ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

මේ අවස්ථාවට අධ්‍යාපන අතිරේක ලේකම් එල් එම් ඩී ධර්මසේන,  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ  අපේක්ෂා බාලසූරිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී. එස්. පොල්වත්තගේ, සමස්ත ලංකා පාසල් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසේන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 January 2021 16:21