May 02, 2024

මා අම්බලන්ගොඩටම යන්න යනවා - සභාපති තනතුරට සමුදෙන මහින්ද දේශප්‍රිය කියයි

December 06, 2020

"සියදෙනෙක් මගේ හොඳ කියන කොට විස්සක් විසිපහක් විතර විවේචනය කරන අයත් ඉන්නවා. අඩුවෙන් කතා කළත් බණිනවා. වැඩියෙන් කතා කළත් බණිනවා. කතා නොකර සිටියත් බණිනවා. ඒක එදත් වුණා. අදත් වෙනවා. හෙටත් වෙන බවත් අතුල සිටුතුමාට බුදුන්වහන්සේ දේශනා කළා. මම මේ තනතුරේ නොසිටියත් පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන්." යැයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් සඳහන් කරන ලදී.

එම සම්පුර්ණ පුවත්පත් සාකච්ජාව පහතින්,
 
ප‍්‍රශ්නය - තවදුරටත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාවන්නේ ඔබ නේද?

පිළිතුර - නොවැම්බර් 11 වැනි දා මැතිවරණ කොමිසමේ කාලය අවසන් වූවා. නමුත් මේ දක්වා නව මැතිවරණ කොමිසම පත් කරලා නොමැති නිසා තවදුරටත් මැතිවරණ කොමිසමේ සභාපතිධුරය මට දරන්න සිද්ධ වී තිබෙනවා. නව මැතිවරණ කොමිසම අද පත්කරනවා ද හෙට පත්කරනවා ද කියන එක නම් මම දන්නේ නැහැ.

ප‍්‍රශ්නය - බොහෝ දෙනාගේ අපේක්ෂාව වී තිබුණේ ඔබතුමා තවදුරටත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු දැකීමයි. ඇයි එම අවස්ථාව බොඳ වෙලා ගියේ...

පිළිතුර - මම පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ දී වත්මන් ජනාධිපතිතුමාට ලිපියක් යොමු කළා මාව මෙම තනතුරින් මුදා හරින්න කියලා. මොකද පළාත් සභා ඡන්ද විමසීම නොපැවැත්වීමට වගකිවයුත්තේ මම යි කියන මතය තිබුණ නිසා තමයි මම එම ලිපිය යොමු කළේ. මම එහි සඳහන් කළා ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදුකරන තුරු මම සිටියෙත් දේශපාලන පක්ෂවල ඉල්ලීම නිසා බව. එම අවස්ථාවේ දී එතුමා මට ලිඛිතව දැන්වූවා මෙම වර්ෂය තුළ මහමැතිවරණය, පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවත් ඊටත් අමතරව මැතිවරණ ප‍්‍රතිසංස්කරණ සිදුකරන බවත් එම නිසා තවදුරටත් ඉන්න කියලා තිබුණා. එම නිසා තමයි සිටියේ. නමුත් මෙම කොරෝනා උවදුර නිසා පාර්ලිමේන්තු මැතිවරණය හැර අනෙක් එවා තියන්න බැරිවූවා. ඒ වගේම මම පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වීමට පෙර පැවති මාධ්‍ය හමුවේ දීත් කිව්වා තවදුරටත් මෙම පුටුවේ වාඩිවෙන්නේ නැති බව.

එහෙත් දේශපාලන පක්ෂවල නායකයන් සියලූ දෙනාම වගේ මට කියපු කාරණය තමයි තවදුරටත් මම මෙම තනතුරේ කටයුතු කරනවාට ඔවුන් කැමතියි කියන එක. ඔබ ඇතුළු මාධ්‍යවේදීන් විශාල පිරිසකුත් මගෙන් ඉල්ලා තිබෙනවා තවදුරටත් මෙම තනතුරේ කටයුතු කරන්න කියලා. දිවයින පුවත්පතේ සේවය කරන තවත් මගේ මාධ්‍යවේදී මිත‍්‍රයනුත් එම ඉල්ලීම් කළා. අඩුම ගණනේ තව එක් වාරයක් හෝ ඉන්න කියන ඉල්ලීම තමයි ඔවුන් කළේ. නමුත් මම තවදුරටත් මෙම තනතුරේ කටයුතු කරන්නේ නැහැ කියලානේ තිබුණේ.

ප‍්‍රශ්නය - මේ වන විට නව මැතිවරණ කොමිසම පත්කරලා නොතිබුණත් ඒ සඳහා යෝජිත නම් පිළිබඳව වාර්තා වෙනවා.

එලෙස යෝජනා වී ඇති සාමාජිකයන් පිළිබඳව ඔබගේ අදහස කුමක් ද?

පිළිතුර - ඒ සඳහා මැතිවරණ අත්දැකීම් තිබෙන නිලධාරීන් දෙදෙනකුම පත් කිරීමට යන බව වාර්තා වනවා. ඒ පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා. එක් අයකු තමයි අපගේ කොමිෂන් ජනරාල් උස්මාන් එම්. එම්. මොහොමඞ් මහතා. සම්පූර්ණ සේවා කාලයම මෙම ආයතනයේ තමයි සේවය කරලා තිබෙන්නේ. ඒ වගේම අපගේ නීති අධ්‍යක්ෂවරයා වන නිමල් පුංචිහේවා මහතාත් සිටිනවා. එතුමා අපත් සමග වසර 5 ක කාලයක් කටයුතු කළා. එතුමාට මානව හිමිකම් පිළිබඳව දැනුමත් තිබෙනවා වගේම සිවිල් සංවිධාන කි‍්‍රයාකාරිකයෙක්. නම් කර තිබෙන අනෙක් අය අතරින් පතිරණ මහතා සහ ජීවන් ත්‍යාගරාජ මහතාත් මම දන්නවා. සමහර අවස්ථාවල ඔවුන් සමග කටයුතු කරලත් තිබෙනවා. මම දන්නේ නැත්තේ වික‍්‍රමගේ මහතා ගැන පමණයි. එතුමාත් රජයේ හිටපු නිලධාරියකු බව කියන නිසා ඒ සියලූ දෙනාටම මැතිවරණ කළමනාකරණ පිළිබඳව අත්දැකීම් තිබෙනවා. එම නිසා ඔවුන් හොඳින් කටයුතු කරයි.

ප‍්‍රශ්නය - ජනාධිපතිතුමා ඔබට මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය අවසන් වන තුරු ඉන්න කියල දැන්වූ බව ඔබ සඳහන් කළා. පළාත් සභා මැතිවරණය මේ දක්වා පවත්වා නැහැ. නමුත් ඉදිරියේ දී පවත්වන බව වාර්තා වනවා. එම මැතිවරණය අවසන් වන තුරු ඔබට මෙම ධුරයේ රැඳී සිටීමට ආරාධනා කළොත්...

පිළිතුර - ජනාධිපතිතුමා එම අවස්ථාවේ දී කිව්වේ එම වාරය අවසන් වෙනකම් ඉන්න කියන එක තමයි. ඒ කියන්නේ නොවැම්බර් 12 වෙන කම්. ඒ ලිපියෙන් කිව්වේ ගිය අවුරුද්දේ දෙසැම්බර්වල යන්න එපා කියන එක තමයි.

මම මෙම තනතුරේ නොසිටියත් පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන්. විදුහල්පතිවරුන් ඉවත්ව ගියා කියලා පාසල්වල අධ්‍යාපනය කඩා වැටෙන්නේ නැහැ නේ. ඉන්න ප‍්‍රධානියා ඉවත් වූ විට නව ප‍්‍රධානියකු එනවා. විප්ලවීය සංවිධානවල කියන දේ තමයි එක් අයකු වැටෙන කොට ඔහුගේ අතින් වැටෙන තුවක්කුව ගන්න තවත් අයකු එන්න ඕන කියන එක. ඒ වගේ අපි වෙනුවට වැඩ කරන්න පුළුවන් අය තව ඕනී තරම් සිටිනවා.

ප‍්‍රශ්නය - ඔබ එසේ සඳහන් කළත් මාධ්‍ය පැත්තෙන් බැලූවිට නම් අපට යම් ගැටලූ සහගත බවක් පෙනෙන්න තිබෙනවා.

ඔබ මැතිවරණ කොමසාරිස්වරයා ලෙස පත්වීමට පෙරත් අපි එම ආයතනය සමග කටයුතු කර තිබෙනවා. නමුත් එම කාලයේ දී නම් එහි සිටිය ප‍්‍රධානීන් ඔබ තරම් මාධ්‍ය සමග සමීපව කටයුතු කළේ නැහැ. එම නිසා ඔබගේ ඉවත්ව යෑමෙන් පසු යළිත් පෙර තත්ත්වය ඇතිවෙයි යන සාධාරණ සැකය අප තුළ තිබෙනවා.

පිළිතුර - අපේ මොහොමඞ් මහතා මාධ්‍ය සමග සම්බන්ධව කටයුතු කළා. නිමල් පුංචිහේවා මහතාත් මාධ්‍ය සමග කටයුතු කළා. ඒ මහතා මාධ්‍ය නිදහස පිළිබඳවත් කටයුතු කර තිබෙනවා. කොමිෂන් ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක මහතාත් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ කෙනෙක්. ඊට අමතරව අපගේ මාධ්‍ය සම්බන්ධිකරණ කටයුතු කළ චන්න ද සිල්වා මහතා සිටිනවා. ඒ වගේම සමාජ මාධ්‍ය සමග කටයුතු කරන ෆී‍්‍රන් යාපා බොරලැස්ස මහතා, සුරංග රණසිංහ මහතා, එස්. අච්චුලන් මහතා සිටිනවා. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරියන් වන ආනන්දි -ධරණි නුස්රාස් යන අයත් සිටිනවා. මගේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කළ රිසාන් වෙනුවට කවුරු එනවද කියලා කියන්න බැහැ. මොකද ඔහු කලින් සේවය කළ ස්ථානයට ගොස් ඇති නිසා.

ප‍්‍රශ්නය - ඔබගේ කටයුතු අගය කරන පුද්ගලයන් වගේම ඔබව දැඩිව විවේචනය කරන අයත් සිටියා. එම විවේචන ඔබගේ කටයුතු සඳහා බලපෑවේ මොන ආකාරයකට ද?

පිළිතුර - සියයක් මගේ හොඳ කියන කොට විස්සක් විසිපහක් විතර විවේචනය කරන අයත් සිටියා. නමුත් හැත්තෑ පහක් බැණලා විසිපහක් හොඳ කිව්වත් මම ඒවා ලොකුවට ගණත් ගත්තේ නැහැ. අතුල සිටු කුමාරයාට බුදුන්වහන්සේ දේ්ශනා කළා සෑමදාම ප‍්‍රශංසා ලබන අයත් සෑම දාම බැණුම් අහන අයත් නොමැති බව. අඩුවෙන් කතා කළත් බණිනවා. වැඩියෙන් කතා කළත් බණිනවා. කතා නොකර සිටියත් බණිනවා. ඒක එදත් වුණා. අදත් වෙනවා. හෙටත් වෙන බවත් අතුල සිටුතුමාට බුදුන්වහන්සේ දේශනා කළා. ඒක තමයි ලෝක ස්වභාවය.

එහෙත් සාධාරණ විවේචන තිබුණු අවස්ථාවල අපි ඒවාට පිළිතුරු දුන්නා. ඒ වගේම යම් පුද්ගලයකුට තම මතය ප‍්‍රකාශ කිරීමට තිබෙන අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ වගේම අපි එයට ගරු කරනවා.

ප‍්‍රශ්නය - පසුගිය ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය අවස්ථාවේ දී සමහර පක්ෂවල උත්සාහය වී තිබුණේ එම මැතිවරණය ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වීමට. නමුත් එම මැතිවරණය නීතියට අනුව පැවැත්වූවා. ඔබ එක් පාර්ශ්වයකට විශේෂත්වයක් නොදක්වන බව අවබෝධ කර ගැනිමට එය හොඳ අවස්ථාවක් නේද?

පිළිතුර - අපි එම මැතිවරණය ප‍්‍රමාද නොකිරීම සම්බන්ධයෙන් බණින අයත් සිටිනවා. එම ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ දී ප‍්‍රතික්ෂේප වූ නාමයෝජනා

බාර ගන්න කියලා ගරු අධිකරණය කිව්වහම එම බාරගෙන එම මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් තීරණය කිරීම ගාල්ලේ තේරීම් බාර නිලධාරියාගේ රාජකාරියක්. ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාව තුළ බෙදීමක් තිබුණා. කොමිසමේ බහුතර තීරණය වූයේ නියම කළ දිනයේ දී ඡන්දය පවත්වන්න ඕන කියන එක. ඒ සම්බන්ධයෙන් ඇතිවූ නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණයත් එය පිළිගත්තා. අධිකරණය තිබෙන්නේ මැතිවරණ කොමිසමට ඉහළින්. මැතිවරණ කොමිසම එක් ආයතනයක් පමණයි. ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ආරක්ෂා කරන පාර්ලිමේන්තුව විසින් සම්මත කළ නීති සහ ගරු අධිකරණය මගින් කළ මගපෙන්වීම් අනුව මැතිවරණ කොමිසම කටයුතු කළ යුතුයි.

ප‍්‍රශ්නය - ඔබ සීමා නීර්ණ කොමිසමට පත්කිරීමට යන බව වාර්තා වනවා. එහි කාර්ය භාරය කුමක්ද?

පිළිතුර - තවම පත්කරලා නැහැ. ඒ වගේම එයට මාව පත්කරාවි කියලා විශේෂ බලාපොරොත්තුවකුත් නැහැ. එම කොමිසමට දැනට නම් නිශ්චිත කාර්යයක් පවරා නැහැ. නමුත් ඉදිරියේ දී පවරාවි.

ප‍්‍රශ්නය - පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය යළි සලකා බැලීමට සූදානම් වන බව වාර්තා වනවා. ඊට හේතු වී තිබෙන්නේ එම මන්තී‍්‍රවරුන් නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් දැරීමට සිද්්ධ වීම. ඒ පිළිබඳව ඔබගේ ස්ථාවරය කුමක් ද?

පිළිතුර - ඔව් සමහර පළාත් පාලන ආයතනවලට මන්තී‍්‍රවරු නඩත්තු කර ගැනීමේ ප‍්‍රශ්නයක් තිබෙනවා. නව ක‍්‍රමය යටතේ කොළඹ මහනගර සභාවට මන්තී‍්‍රවරු 113 ක් පත් වී තිබෙනවා. එම සංඛ්‍යාව 80 දක්වා අඩුවූවා නම් හොඳයි. නව ක‍්‍රමය යටතේ අම්බලන්ගොඩ නගර සභාවටත් මන්තී‍්‍රවරුන් 20 ක් පත්වෙනවා. එම සංඛ්‍යාවත් 16 දක්වා අඩු කරන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ දැනට සිටින සංඛ්‍යාව 10% කින්වත් අඩු කරන්න පුළුවන් නම් හොඳයි. ඒ සඳහා නැවත පාර්ලිමේන්තු පනතක් හදන්න වෙනවා. නව ක‍්‍රමයක් හැදුවත් කාන්තා නියෝජනයට 25% ක් තියෙන්න ඕනී. ඒ වගේම ප‍්‍රාදේශීය සභා සඳහාවත් තරුණ නියෝජනයක් ඇතුළත් කළ යුතුය යන මතයේ මම සිටිනවා.

ප‍්‍රශ්නය - ඔබ මීට පෙර සඳහන් කර තිබුණා මැතිවරණ කොමසාරිස් ධුරයේන් ඉවත්වීමෙන් පසු ඔබගේ ගම් ප‍්‍රදේශය වන

අම්බලන්ගොඩටත් අධ්‍යාපනය ලබපු ධර්මාශෝක විද්‍යාලයට මෙන්ම එම ප‍්‍රදේශයට සේවය කිරීමට අපේක්ෂා කරන බව. ඒ සඳහා දැන් සූදානම් ද?

පිළිතුර - අනිවාර්යයෙන්ම අම්බලන්ගොඩ නිවසට එනවා. මේ දවස්වල ඉන්නේ ලොරිස් පාරේ නිල නිවසේ. එහි තවදුරටත් ඉන්න පුළුවන්ද බැරි ද කියන එක මම දන්නේ නැහැ. කෙසේ වුවත් අපේ අම්බලන්ගොඩ නිවසට ඊයේ (26) බඩු බාහිරාදිය ටිකක් රැගෙන ගියා.

අම්බලන්ගොඩට අපේ බැඳීම් තිබෙනවා. අපි තවම බටහිර රටවල වගේ එම බැඳීම් අත්හැරලා නැහැ නේ. ඒක හරියට තමන්ගේ දෙමව්පියන් බලාගන්නවා වගේ. මම ධර්මාශෝක විද්‍යාලයට උදව් කිරීම හරහා අනෙක් පාසල් පහත් කොට සැලකීමක් කොහෙත්ම සිද්ධවෙන්නේ නැහැ. මට පාසල් ගෝත‍්‍රවාදය කියන එක නැහැ. ලෝකයේ තිබෙන අන්ත ජාතිවාදය,  ආගම්වාදය වගේම දේවල් තමයි අන්ත ප‍්‍රදේශවාදය, අන්ත කුලවාදය අන්ත පාසල් ගෝත‍්‍රවාදයත්. එවැනි දේවලින් අපි මිදෙන්න ඕනී.

මම ගුරුවරයකු ලෙස කටයුතු කළ සමයේ දී දයා ජයසේකර සර්ගේ ඉල්ලීම පිට බටපොල මහා විද්‍යාලයේ ළමයින්ට මම ව්‍යවහාරික ගණිතය ඉගැන්වූවා. ඒකට මට පොඩි දීමනාවක් ලැබුණා තමයි. ඒ වගේම දේවානන්ද විද්‍යාලයේ ටේබල් ටෙනිස් පුහුණුකරු විවිධ අවස්ථාවල මගෙන් උපකාර ඉල්ලූ අවස්ථාවල දී මම ඒවා ඉෂ්ට කර දුන්නා.

මට පාසල් බේදයක් නැහැ, නමුත් මට බැඳීමක් තිබෙනවා. පාසලත් සමගම තමයි අපි ජීවත් වූයේ. මගේ ජීවිත කාලයෙන් පහෙන් එකක් ඒ කියන්නේ වසර 13 ක් මම එම පාසලෙන් අධ්‍යාපනය ලබලා තිබෙනවා. ඒ වගේම මම එම පාසලේ ගුරුවරයකු ලෙස වසර 5 ක් උගන්වලත් තිබෙනවා. ඒ වගේම මම ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා ලෙස වසර 8 ක් කටයුතු කර තිබෙනවා. එම හේතු නිසා මගේ බැඳීම වැඩියි.

ඒ වගේම අපි අපේ නගරයට කරන්න පුළුවන් දෙයක් කරන්න ඕනි. දකුණු පළාත් කි‍්‍රකට් සංගමය සම්බන්ධයෙනුත් කටයුතු කරන්න ඕනී.

ප‍්‍රශ්නය - එම කටයුතු කිරීම සඳහා දේශපාලනයට සම්බන්ධ වුවහොත් නරක ද?

පිළිතුර - දේශපාලනයට එනවා නම් එන්න තිබුණේ මැතිවරණ දෙපාර්තමේන්තුවට එක්වීමට පෙර.

ප‍්‍රශ්නය - මේ අවස්ථාවේ දී තව විශේෂයෙන් මොනව ද කියන්න තිබෙන්නේ?

පිළිතුර - අපි ඡන්ද පැවැත්වීම හොඳට කළා නම් ඒ සියල්ල කළේ නිලධාරීන්ගේ, පොලිසියේ සහ විශේෂයෙන්ම මහජනතාවගෙන් වගේම දේශපාලඥනයන්ගෙන් ලැබුණු සහයෝගය නිසා. ඒ වගේම ජනමාධ්‍යවේදීනුත් මට විශාල සහයෝගයක් ලබාදුන්නා.

(දිවයින)

Rate this item
(0 votes)